අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නිල්වලා ගගේ ජල මට්ටම පිටබැද්දර සහ පානදුගම ප්‍රදේශයෙන් හා ගිං ගගේ ජල මට්ටම තවලම සහ බද්දේගම ප්‍රදේශයෙන්, කළු ගගේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙනුත් සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මාතර කඩවත් සතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අතුරලිය, අකුරැස්ස හා පිටබැද්දර යන ප්‍රදේශවල ජනතාව හදිසි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව සදහන් කරයි.
මේ වන විටත් නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය හෝන්දුගොඩ සහ පානදුගම යන ප‍්‍රදේශ වලින් ජලයෙන් යටවී ඇත.පොල්අතු ගඟ පිටාර ගැලීමෙන් වැලිගම ජඹුරේවෙල මාර්ගය ද ජලයෙන් යටවී ඇත.
ගංවතුර තත්ත්වයන් පාලනය කිරිම සදහා මේ වනවිට නිල්වලා ගගේ මෝයකට පුලුල් කිරීමේ කටයුතු සිදුකෙරෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි.
අද රාත්‍රියේ දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවයි.
ගාල්ල, වඳුරඹ ප්‍රදේශයේ නාය යාමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව ද සදහන් වේ.