“පුතේ උඹ ඉගෙන ගෙන ලොකු මිනිහෙක් වෙයං”
වෙලේගෙදර මුදියන්සේලාගේ ඩිංගිරි මැණිකේ තම එකම පුතුට එසේ කීවේ නැත. ඇයට ඕනෑ වුණේ තම පුත්‍රයා ලොකු මිනිහෙක් කරන්නට නොව හොඳ මිනිහෙක් කරන්නටයි. ඉතින් හතර පෝයට සිල් සමාදන් වූ මේ අම්මා තමන් උගත් බණ පද පුතාටත් තේරුම් බේරුම් කර දුන්නා ය. හොඳ නරක කියා දුන්නාය. පොතපතේ වැඩි උගත්කමක් නැතත් ජීවිතය පිළිබඳ මනා වැටහීමක් අම්මා සතු විය. ඇය ඒ සියල්ල නොමසුරුව තම පුතාට තිළිණ කළා ය.
“උඹ සල්ලිය බාගේ හම්බ කරගෙන කවදාහරි ගමේ හැමෝටම වඩා ඉහළින් ජීවත් වෙන්ඩ ඕන ”
අහිංසක ගැමියෙක් වූ මොහොට්ටාලලාගේ උක්කු බණ්ඩා එසේ කියමින් මුදල් හම්බ කිරීමේ තරගයට තම පුතාව පෙලඹවූයේ නැත.
“අවංකව ජීවත් වෙන්න, අනුන්ගෙ සතයක්වත් අපට එපා ” ඔහු තම පුතුට ඒ ආදර්ශය දුන්නේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. පොල්ගහවෙල පනලියේ ජීවත් වූ මේ ගැමි යුවළ රැකුණේ ගොවිතැන් බත් කිරීමෙනි. සෑහෙන ධනයක්, කුඹුරුපිටි, ඉඩකඩම් ඔවුන්ට තිබුණි. ඉගෙනීමට දක්ෂයකු වූ ඔවුන්ගේ එකම පුතා ඩිංගිරි බණ්ඩා මුලින්ම ගමේ ප්‍රාථමික විදුහලට යවා උගැන්වූ දෙමාල්ලෝ අනතුරුව ඔහුව කොළඹ නාලන්දා විද්‍යාලයට යැවූහ.
ඩිංගිරි බණ්ඩා නාලන්දාවට පාසල් ගියේ ප්‍රවීණ සාහිත්‍යධරයකු වූ පියදාස සිරිසේන මහතාගේ ගෙදර නැවතීගෙනය. ඔහු ඩිංගිරි බණ්ඩලාගේ පවුලේ හිතවතෙකි. පසු කලෙක ඩිංගිරි බණ්ඩා දරුවාගේ ජීවිතය හැඩ වැඩ වීමට පියදාස සිරිසේන මහතාගේ ඇසුර බෙහෙවින් බලපෑවේය.
1925 නාලන්දා විදුහලට ඇතුළත් වී 1929 දී නාලන්දා විදුහලෙන් ඉවත් වී කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට ඇතුළත් වන විට ඩිංගිරි බණ්ඩාට වයස අවුරුදු එකොළහකි.
ශාන්ත අන්තෝනි විදුහල ගමේ ගොඩේ නිකම්ම නිකම් කොලුගැටයකු වූ ඩිංගිරි බණ්ඩාව දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පත් කළේ ය. එයින් නොනැවතී විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායමට නායකත්වය දුන් ඔහු ශිෂ්‍යභට කණ්ඩායමේ ද උදේයා්ගිමත් සාමාජිකයෙක් විය. විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සේම ඉගෙනීමට ද ඔහු සමත්කම් පෑවේය. ලන්ඩන් මැට්‍රික්‍යුලේෂන් විභාගයෙන් ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ඩිංගි රිබණ්ඩාට හිමි විය. ඉන්පසු කොළඹ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ මේ තරුණයා 1938 දී එයින් එළියට බැස්සේ බි. ඒ ගෞරව උපාධියක් ද අතැතිවය.
රටේ මහත්වරුන්ගේ තනතුර වෙනුවට ලංකාවේ මුල්වරට ප්‍රාදේශීය ආදායම් නිලධාරී හෙවත් ඩී. ආර්. ඕ. තනතුර ඇති කළේ 1939 දීය. මුලින්ම එම නිලයට පත් කළ ඩී. ආර්. ඕ. මහත්වරුන් හතර දෙනා අතරට මොහොට්ටාලලාගේ ඩිංගිරි බණ්ඩා ද එක්ව සිටියේ ය. එම්. ඩී. බණ්ඩා නමින් ඔහුගේ නම ආණ්ඩුවේ පොත්පත්වල ලියැවුණි.
1939 අප්‍රේල් 01 දා ලද පළමු පත්වීමෙන් ඔහු අනුරාධපුර කලාගම් පළාත භාර ප්‍රාදේශීය ආදායම් නිලධාරී ලෙස වැඩ භාර ගත්තේ ය. 1940 ජනවාරි 01 දා තරුණ එම්. ඩී. බණ්ඩා මහතා උඩරට උඩහේවාහැට ආදායම් පාලක ලෙස මාරුවීමක් ලැබුවේ ය.
මෙකල ලංකාවේ කුල භේදය ඉතා උග්‍ර විය. පහත් කුලවල කතුන්ට උඩුකය වසා ඇඳුම් ඇඳීම තහනම් විය. ඔවුන්ගේ ගෙවල්වලට යන්නට පාරවල් තිබුණේ නැත. කුලීනයන් දිය බොන ළිඳකින් වතුර පොදක් බිම පවා කුල හීන ජනයාට තහනම් විය. උඩරට ගැමි පවුලක උපන් එම්. ඩී. බණ්ඩාට උඩරට සමාජයේ කුලභේද හිතට ඇල්ලුවේ නැත. ඔහු ඊට එරෙහිව කැරලි ගැසුවේය. ඔහු රාජ්‍ය නිලධාරියෙක් ලෙස උස් පහත් භේදයක් නොතකමින් කාටත් සමානව සැලකුවේය. පහත් යැයි සම්මත කුලවල ජනතාව වඩ වඩාත් ඔහුගෙන් සැලකුම් ලැබූහ.
එක දිගටම, එකම නිවාඩුවක්වත් නොගෙන ඔහු රාජකාරි කළේ ය. නිවාඩු දිනවලටත් ඔහු විවේක සුව වින්දේ නැත. මහත් කැපවීමෙන් වැඩකරන මිනිසුන්ගේ සිත් දිනාගත් ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා මිනිසුන්ව සුවපත් කරන මේ අලුත් ඩී. ආර්. ඕ. මහත්තයා ගැන කවුරුත් ගුණ ගයයි. මේ ගුණ ගායනා එවකට නුවරඑළියේ හිටපු රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයකු වූ ඊ. ඩබ්ලිව්. අබේගුණසේකරගේ කනට ද වැටුණි. ඔහුට එ්වා කනේ යවුල් අනින්නාක් මෙන් විය. අබේගුණසේකර මන්ත්‍රීවරයා එම්. ඩී. බණ්ඩාට ඉරිසියා කළේ ය. ඔහුගේ විප්ලවකාරී ප්‍රගතිශීලීි සේවාවට එරෙහිව එහෙන් මෙහෙන් කටු කොහොල් හරස් කරන්නට පටන් ගත්තේ ය.
මෙකල නුවරඑළිය උප දිසාපතිව සිටියේ රදල සිවිල් නිලධාරියකු වූ එල්. ජේ. ද එස්. සෙනෙවිරත්නයි. නුවර මහ දිසාපති සුද්දෙකි. මේ යුවළ එම්. ඩී. බණ්ඩාගේ පැත්ත අරගත්තේ නැත.
නමුත් පොදු ජනතාව එකාවන්ව එම්. ඩී. බණ්ඩා පිටුපස පෙළ ගැසී උන්හ. එහෙත් මන්ත්‍රීවරයාගේ සිවිල් බලය ඒ සියල්ල අබිබවා යයි. ඔහු සමග තවදුරටත් රාජකාරී කළ නොහැකි වූ බැවින් එම්. ඩී. බණ්ඩා ඩී. ආර්. ඕ. රස්සාවට ආයුබෝවන් කියා පොල්ගහවෙල මහ ගෙදරට ආවේය. ලැබූ විවේකය ප්‍රයෝජනයට ගෙන අද්වගාත් විභාගය කළේය. එම විභාගයේ පළමු කොටස් දෙක ඔහු ඉතා ඉහළින්ම සමත් වුණේ ය.
රජරට ප්‍රභූ පවුලක් වන මහ දිවුල්වැව පවුලෙන් එම්. ඩී. ට විවාහ යෝජනාවක් ඉදිරිපත් වුණේ මේ අතරතුරය. යෝජිත මනාලිය වූ සිට්ටම්මා කුමාරිහාමිගේ පියා ඩී. පී. බි. මහදිවුල්වැව ඉතාම ජනප්‍රිය රජරට නායකයෙකි. එම්. ඩී. බණ්ඩා එම විවාහයට එකඟ විය.
මන්ත්‍රීවරු මහජන මුදලින් යැපෙමින් අල්ලස් ගැනීමට එරෙහිව කොමිසමක් පත් කෙරුණේ මේ කාලයේ දී ය. මේ රාජකීය කොමිසම ඉදිරියේ මුලින්ම වරදකරු වූ ඊ. ඩබ්ලිව්. අබේගුණසේකරගේ මන්ත්‍රී ධුරය අහෝසි වූ බව එම්. ඩී. ට දැන ගන්නට ලැබුණි.
“ඔබතුමා දැන් අපේ ආසනෙට ඇවිත් ඡන්දෙ ඉල්ලන්න. අපි ඔබතුමාව දිනවනවා.”
පෙල්ගහවෙල පනලියට පැමිණි නුවර එළියේ ජනතාව එම්. ඩී. ට ආරාධනා කළේ මේ අව් අස්සේය. එම්. ඩී. ජනතා ඉල්ලීමට එකඟ වී නුවරඑළියෙන් ඡන්දය ඉල්ලුවේය. අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් ඔහු දිනවූ නුවරඑළියේ මිනිස්සු එම්. ඩී. ට වූ පොරොන්දුව ඉටු කළේය.
එහෙත් එම්.ඩී. ගේ ආධාරකරුවෙක් තමන්ගේ චරිතය ඝාතනය වන අන්දමේ ප්‍රකාශයක් නිකුත් කළ බව කියමින් ඊ. ඩබ්ලිව්. සුපී්‍රම් උසාවියේ පැමිණිල්ලක් ගොනු කළේ ය. පැමිණිල්ල ඔප්පු කළ හැකි නම් එම්. ඩී. ගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙයි.
“මේ ප්‍රකාශය කළා කියන ආධාරකාරයා තමන්ගෙ මිනිහෙක් නෙවේ කියන එකයි තමුසෙට කියන්න තියෙන්නේ.”
එම්.ඩී.ගේ නීතිඥයා වූ රාජ නීතිඥ ආර්. එල්. පෙරේරා නඩුවට පෙර තම සේවාදායකයාට උපදෙස් දුන්නේය.
“එතකොට”
“එතකොට ඒ මිනිහා හිරේ යයි. තමුසෙගෙ සීට් එක බේරෙනවා.”
නීතිඥයා පැහැදිලි කළේය. එහෙත් එම්. ඩී ට ඒ විසඳුම හිතට ඇල්ලුවේ නැත.
“මගේ ආධාරකාරයෙක් අමාරුවේ දාල මට ආසනේ රැක ගන්න ඕන නෑ. මං ඇත්ත කියනවා.” එම්. ඩී. තීරණය කළේ ය. තීරණය කළා සේම ඔහු එදා මුළු උසාවියම පුදුම කරවමින් ඇත්ත කතාව හෙළිදරව් කළේ ය.
“ස්වාමීනි ඔහු මගේ ආධාරකරුවෙක්. මේ කතාව ඔහු කළේ මගේ අනුදැනුම පිට නොවේ. ඒත් මම මේ ප්‍රකාශයේ වගකීම භාර ගන්නවා.”
මේ කතාව ඇසූ එම්. ඩී. ගේ නීතිඥයාට යක්ෂයා ආරූඪ විය.
“තමුසෙ හොඳ දේශපාලනයට නෙවේ. ගිහින් හතර පෝයට සිල් ගන්නවා.”
ඔහු එම්. ඩී. සමග අමනාපයෙන් පිටත්ව ගියේ ය. අන්තිමේදී එම්. ඩී. බණ්ඩාට තම මන්ත්‍රීකම අහිමි විය. එහෙත් විනිශ්චයකාරවරයා එදා උසාවියේ නඩු පොතේ ඔහු පිළිබඳ මෙවැනි සටහනක් තැබුවේය.
“මොහු අවංක, ශ්‍රේෂ්ඨ මිනිසෙකි. අවශ්‍ය නම් බොරු කියා බේරෙන්නට හැකියාව තිබියදීත් ඇත්තම කතා කළේය. මෙම වරදට අනුකූලව ඔහුට හත් වසරකට සිවිල් අයිතිවාසිකම් අහිමි විය යුතුය. හැකි නම් එම දඬුවම අහෝසි කර යළිත් මැතිවරණයකට තරග කිරීමට ඔහුට ඉඩ දෙන මෙන් ඉල්ලා සිටිමි.”
විනිශ්චයකාරවරයා මේ ඉල්ලීම ආණ්ඩුකාරතුමාට ඉදිරිපත් කළේය. එම්. ඩී. ගෙදර ආවේය.
1947 වන විට ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණි. එවකට එක්සත් ජාතික පක්ෂය පිහිටුවා, ඩී. එස්. සේනානායක එහි ප්‍රථම නායකයා බවට පත්ව සිටියේ ය. පොල්ගහවෙල පනලියේ නිවසට යන ඩී. එස්. අපේ කතා නායකයාට ඡන්දයට ඉදිරිපත් වන්නැයි ආරාධනා කළේ ය.
එවර මතුරට ආසනයට ඉදිරිපත්වීමට එම්. ඩී. ට සිදුවූයේ නුවරඑළිය ආසන කීපයකට වෙන්ව තිබුණ නිසාවෙනි. ඉතා විශිෂ්ට අන්දමෙන් මතුරට ජය ලැබූ එම්. ඩී. බණ්ඩා ඩී.එස්. ගේ ප්‍රථම කැබිනට්ටුවේ කම්කරු සහ සමාජසේවා උප ඇමැතිවරයා බවට පත් විය.
1950 කැබිනට් සංශෝධනයෙන් ඔහු කම්කරු සහ සමාජ සේවා ඇමැතිවරයා බවට ද පත් විය. 1952 මාර්තු 22 දින ගාලු මුවදොර පිටියේදී ඩී. එස්. අශ්වයා පිටින් ඇද වැටී අභාවයට පත් වන්නේ සියල්ල උඩු යටිකුරු කරමිනි. එවක අගමැතිවරයා වන ඩඩ්ලි සේනානායක පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරයි. එම්. ඩී. එහිදීත් මතුරට ආසනය විශිෂ්ට ලෙස දිනාගෙන ලංකාවේ ලාබාලම අධ්‍යාපන ඇමැතිවරයා බවට පත්විය.0 එවකට ඔහුට වයස අවුරුදු 38 කි.
කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරන එම්. ඩී. ඉතා ක්‍රියාශීලී ඇමැතිවරයෙකි. පාසල් නගා සිටුවීමටත්, ගුරු සුබසාධනයටත් ඔහු ඇප කැප වී ක්‍රියා කළේ ය. 1956 පාලක එජාපය අන්ත පරාජයකට පත් වන විටත් එම්. ඩී. ට මතුරට ආසනය රැක ගැනීමට හැකි වන්නේ ඒ නිසාවෙනි. එවකට එජාපයේ ආසන ගණන 8 ට අඩුව තිබුණි. මේ වන විට සර් ජෝන් අගමැතිවරයා නිතරම රටින් බැහැරව ගමන් බිමන් යන බැවින් එම්. ඩී. බණ්ඩා එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ ද නායකයා බවට පත් විය.
1960 මහ මැතිවරණයෙන් මාස 4 කට අගමැති තනතුර භාරගත් ඩඩ්ලි සේනානායක රජයේ දී එම්. ඩීී. හඟුරන්කෙත මන්ත්‍රීවරයා බවට පත් විය. ඒ මාස හතරේ ආණ්ඩුවට හිටියේ ඇමැතිවරු 11 දෙනෙකි. එම්. ඩී. ඉඩම්, කෘෂිකර්ම, ආහාර සහ සමුපකාර ඇමැතිවරයා ය.
65 මහ මැතිවරණයෙන් බහුතර ආසන ගණනක් දිනාගත් ඩඩ්ලි සේනානායක මහතා පිහිටුවන ජාතික රජයේද ආහාර සහ කෘෂිකර්ම ඇමැති වන්නේ එම්. ඩී. බණ්ඩාය. ආහාර හා කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස එම්. ඩී. මෙරටට ඉමහත් සේවාවක් කළ අයෙකි. ලංකාව වටේටම ගොස් ගොවීන් සහ ලොකු කුඩා නිලධාරීන් උනන්දු කර නවීනතම කෘෂි ක්‍රම හඳුන්වා දෙන්නේ ඔහු ය.
ඒ අවුරුදු පහ ඇතුළත ඔහු ලංකාවේ කුඹුරුවලින් ලැබුණ අස්වැන්න බුසල් කෝටි එකසිය දහයකින් වැඩි කළේ ය. එවක ඔහු යටතේ ගොවිජන සේවා සහකාර කොමසාරිස් ලෙස ලැබූ අත්දැකීම් ඇති මේ ලියුම්කරු 65-70 කාලයේ හරිත විප්ලවයේ පුරෝගාමියා වෙමින් එම්. ඩී. කළ සේවය හොඳින් දනියි. ඔහු ලංකාවට විද්‍යාත්මක කෘෂිකර්මය හඳුන්වා දුන්නේ ය.
1970 සිට 74 දක්වා ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා වූයේ එම්. ඩී. ය. 1974 සැප්. 18 දා මිය යනතුරුම ඔහු එම තනතුරේ සේවය කළේ ය. එවිට ඔහුගේ වයස අවුරුදු 60 කි.
රජයේ නිල නිවාසයට සහ නිල රථය රාජකාරියට පමණක් පාවිච්චි කළ එම්. ඩී. බණ්ඩා ඉතා අවංක රාජ්‍ය නිලධාරියෙකි. කිසි කලෙකවත් අල්ලස්,ගැනීම හෝ රජයේ මුදල් වංචා නොකළ අයෙකි. දරුවෝ අව්වට වැස්සට තමෛමින් වේලෙමින් පාසල් ගියද එම්. ඩී. ඔවුන්ව නිල රථයට නංවාගෙන ගොස් පාසල ළඟින් බැස්සුවේ නැත.
එතුමන්ගේ වැඩිමහල් දියණිය විවාහ වුණේ මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස මහතා සමගිනි. ඔවුන් දෙපළම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු ය.
ඔහුගේ ආදාහනය මොහොතේ ජේ. ආර්. තම හිතවතා පිළිබඳ කළ කතාවේ ඔහු ගැන මෙවැනි හැඳින්වීමක් විය.
“73 ඩඩ්ලි මිය ගිය විට පක්ෂයේ හිටිය ජ්‍යෙෂ්ඨයා එම්. ඩී. බණ්ඩා. ඔහුට පක්ෂ නායකත්වය ලබා ගන්න සුදුසුකම් තිබුණා. ඒත් එම්. ඩී. පක්ෂයේ විධායක කමිටුවේදී තමන්ට ලැබුණු නායකත්වය ප්‍රතික්ෂේප කර මගේ නම යෝජනා කළා. තමන්ගේ අතට ආ තනතුරක් භාර නොගෙන එය අනුන්ගේ අතකට දෙන මෙවැනි මිනිසුන් ලංකාවේ බොහෝ විරලය.”