Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පාසල් ප්‍රේමය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

“සුදු බිත්ති හැඩ කෙරූ කුරුටු ගී සිනාසී
තව කලක් රැඳෙනු ඇත ඔබට මට වද දිදී
පාස‍ලේ ප්‍රේමයට නැවතීමෙ ලකුණු දී
ඉතින් අපි වෙන්ව යමු සදාකාලික නොවී”

මේ එක්තරා ජනප්‍රිය ප්‍රේම ගීතයක පද කිහිපයකි. තරමක් පැරණි ගීතයක් වුව මා මෙය අහුලා ගත්තේ අලුත් පාසල් ශිෂ්‍යාවකගේ සමරු ‍පොතකිනි. උපදේශනය හා වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳ විවිධ අදහස් රැගෙන යන්නට මා හමුවන්නට නිතර උසස් පන්තිවල පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පැමිණෙති. පාසල්වලට විවිධ දේශන හා වැඩසටහන් සඳහා යාමට ද බොහෝ විට සිදු වේ. මේ සියලු තත්ත්වයන් යටතේ පාසල් සිසු සිසුවියන් සමග සමීප ඇසුරක් පවත්වන්නට ද මට හැකිවී තිබේ. පසුගිය සතියේ සිය ප්‍රේමය ගැන අදහස් දැක් වූ එක් පාසල් සිසුවියක කියා සිටියේ “සර් මට නම් මගේ ආදරය ලුණු වතුර බොනවා වගේ වැඩක්” කියා ය.

මා සමග වැඩිදුර කතා කරත් දී ඇය පැහැදිලි කළේ මට දැනෙන පිපාසයට නොබි සිටින්නට හිත නොදෙන නමුත් බිමෙන් වෙන සෙතක් නැතිවා මෙන් ම තව තවත් පිපාසය ඇතිවෙන බවත් ය. එහෙත් දිගට ම බිව්වොත් විය හැකි අනතුර පිළිබඳව ද විය හැකි හානිය ද හොඳ මෙන් ම නරක ද යන සියල්ල ඇය කියා සිටියා ය. එය නම් අපූරු අදහසකි. ඇයට අමුතුවෙන් කියන්නට යමක් මා සතුව නොවිණ. තමා සිටින තත්ත්වය ද ඇය දැක තිබිණ. ඒ මොහොතේ නම් ඇයට අවශ්‍ය තිබුණේ හඬන්නට උරහිසක් පමණි.

මට මතක් වුණේ ගේබ්‍රියල් ගාර්ෂියා මාර්කේස්ගේ “කොලරා කා‍ලේ ආ‍ලේ” නමින් පරිවර්තනය කරන ලද ගාමිණී වියන්ගොඩගේ ‍පොතෙහි ආරම්භක පිටුවේ තිබූ සටහනකි.

“ආලය අන්ධ නොවනවා පමණක් නොවේ සියලු වැරදි ද දකී. එහෙත් කිසිවක් ගණන් නොගනී.”

වෘත්තීය මාර්ගෝපදේශනය හා උපදේශනය පිළිබඳ කථිකාවක දී පාසල් ප්‍රේමය මතු වූයේ කෙසේදැයි යම් කෙනෙකුට විචිකිච්ඡාවක් ඇතිවිය හැකි ය. එහෙත් මා එදිනෙදා දකින යථාර්ථය නම් අද පාසල් පන්ති කාමරය තුළ මෙය ඉතා වැදගත් භූමිකාවක් බව ය. ඇතැම් සාධනීය මානයන් ද නිශේධනීය ආකල්ප හා චර්යා ද යන දෙපාර්ශ්වය ම මේ තුළ දැකිය හැකි ය. ප්‍රේමය තරුණ මනෝභාවයක් බව ද එය ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයක් බව ද අපි දනිමු.

එහෙත් දෙමාපියන් නැතිනම් ගුරුවරුන්ගේ මැදිහත්වීම් හරහා මේ සම්බන්ධතා දුර දිග යන ඒවා බවට පත්වන අවස්ථා ද තිබේ. ඇතැම් දුර දිග යන අවස්ථා මතුවන්නේ ප්‍රේමය දිනා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ ය. මා “දුර දිග ගිය” අවස්ථා යැයි කියන්නේ පිහි ඇණුම් හෝ මිනී මැරුම්වලින් අවසන් වන ආකාරයේ ප්‍රේම සම්බන්ධතා ය. අප මෙහෙයවනු ලබන මූලික බලවේග දෙකක් වන්නේ හැඟීම් හා බුද්ධිය ය.

කාටත් වැටහෙන ලෙස සරලව කියන්නේ නම් අපට බුද්ධිය ඇත්තේ හැඟීම් පාලනය කර ගැනීම සඳහා ය. නැතිනම් කළමනාකරණය කර ගැනීම සඳහා ය. එහෙත් සාමාන්‍යයෙන් තරුණ පිරිස් අතර දැකිය හැක්කේ හැඟීම් බුද්ධිය මගින් පාලනය කරනවා වෙනුවට බුද්ධිය හැඟීම්වලින් පාලනය කිරීම ය. මෙතැන දී තරුණ වයස අතිධාවනකාරී බැව් අපි දනිමු. සමාජයට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙන විට ඔවුනට නියුමෝනියාව සෑදේ.

ඒ තරම් රැඩිකල් හා ආවේගශීලී තුරුණු විය අන්ධ නොවනවා පමණක් නොව සියලු වැරදි ද දකිමින් ගණන් නොගන්නා බව සත්‍යයකි. බුද්ධියෙන් හා අත්දැකීම්වලින් ‍පෝෂණය වෙමින් වැඩෙත් දී යහපත් හැඟීම්වල ප්‍රීතිය විඳීමට සිත් වීමේ දී ස්වයං පාලනයක් තිබිම අතිශයින් වැදගත් වෙයි. මේ අනුව මෙහිදී වැඩිහිටියන් මෙන් ම තරුණයින් ද සිය වගකීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

පළමුව, වැඩිහිටියන් ඇසින් බලන කල ඔවුන්ගේ එකම අපේක්ෂාව තම දරුවා පාසල් ජීවිතය අති සාර්ථකව නිමවා යහපත් ගුණ දහම්වලින් යුත් පුරවැසියෙකු ලෙස වෘත්තීය ජීවිතයට ද පිවිසීමයි. පාසල් ප්‍රේමය යනු මේ ගමනේ දී හමුවන බැරෑරුම් ප්‍රතිරෝධයකි.

මෙවැනි සම්බන්ධයක් කන වැකුණු සැණින් ඇතැම් දෙමාපියන් කලබල වෙති. සමහර ගුරුවරුන්ගේ තත්ත්වය ද ඊට දවෛනි නොවේ. ආදරයෙන්, සෙනෙහසින් ඒ පිළිබඳ කතා බහ කර විසඳා ගන්නවා වෙනුවට දරුවා හා යුද වැදීමේ ප්‍රතිඵලය වන්නේ ඔහු ලජ්ජාවටත් අපකීර්තියටත් පත්වීම නිසා ආත්මාභිමානය වෙනුවෙන් සටන් කරන්නට ගොස් ‍පොට වරද්දා ගැනීමයි. නොඑසේ නම් කලකිරීම, පශ්චත්තාපය හෝ මානසික ආතතියට ලක්වීමයි.

දෙමාපියන් සමග වඩාත් හොඳ සමීප සබඳතාවක් ඇති සිසුන් මෙබඳු ගැටලුවලට මුහුණ දෙන්නේ සාපේක්ෂ වශයෙන් අඩුවෙනි. දරුවා කෙරෙහි ඇති සමීප දයාව හා ආදරය ඔවුනට වගකීමකි. ඒ වගකීමෙන් බැඳී සිටින විට වරදක් කරන්නට පෙලඹෙන්නේ ද අඩුවෙනි. එහෙත් මෙහිලා ‘ප්‍රේමය’ වරදකැයි කියන්නට තරම් මා හදිසි වන්නේ නැත.

මන්ද ‘ප්‍රේමය සුන්දර වරදකැ’යි ඔවුන් කියනු ඇත. ඇතැම් විට ඉතා සාධාරණව සිතන මව්පියවරු තමන් මේ වයසේ දී මෙබඳු තත්ත්වයකට මුහුණ දුන්නේ නම් කෙසේ කටයුතු කරනු ඇත්දැයි සිතා ඒ අනුව දරුවාගේ තත්ත්වය නිගමනය කරති. මගේ දැක්මේ හැටියට නම් මෙයත් සාධාරණ නොවේ. ඔබ එවිට දරුවා දෙස බලන්නේ ද අවම වශයෙන් මීට දශයකටවත් එපිට විවර කළ ජනෙල් කවුළුවකිනි. ඔබ පාසල් යන කාලයේ දී තිබූ පන්ති කාමරය අද නැත.

මේ ඇත්තේ ඒ සමාජය නොවේ. ඒ සිතුම් පැතුම් නොවේ. ඒ මෝස්තර නොවේ. ඒ යුගයේ වීරයන් ද නොවේ. සියල්ල වෙනස් ය. අද දවසේ ඔබට පෙනෙන අතිශය ලාමක, බොළඳ හා ඕලාරික සිතුම් පැතුම් ළමයින්ගේ ලෝකයේ අති උත්කර්ෂවත් මෙන් ම වීරත්වයෙන් පිරිපුන් ආකල්පයන් විය හැකි ය. එනිසා ළමයා වටහාගත යුතු වන්නේ ඔහුගේ ම තැනක හිඳ මිස අපේ තැන්වල සිට නොවේ.

දෙවනුව,තමන්ගේ අතිශයින්ම සදාදරණීය සිතිවිලි පාසල් සිසු සිසුවියන් විසින් සිත්තම් කළ යුත්තේ අරපරිස්සමෙනි. අතිශය මියුරු සිතිවලිවලින් පිරුණු සැඩ සුළඟක් සේ කඩා වදින ආදරය මතුපිටින් පෙනෙන පමණට හෝ මේ මොහොතේ දැනෙන තරමට චමත්කාර නොවිය හැක. එහෙත් ඒ සත්‍යය වටහා ගන්නට තව බොහෝ කල් ගතවනු ඇත. එවිට ඔබ පමා වූවා වැඩි වීමට ද ඉඩ තිබේ. ඔබ විසින් ගනු ලබන සියලු තීරණ ඒ ප්‍රේමයට ඌනනය කරන අවස්ථා මට අපමණ හමු වේ.

විෂයයන් තෝරා ගැනීම, ඇතැම් විට අනාගත වෘත්තීය තෝරා ගැනීම වුව කරනු ලබන්නේ දෙදෙනාට වැඩි වේලාවක් එකට හිඳීමට හැකි අවස්ථා ප්‍රමාණය ගණනය කිරීමෙනි. යොවුන් වියේ පියාපත් මත රැඳී ඉතා සැහැල්ලුවෙන් ඉගිල යන මේ කාලය හෙට දවස පිළිබඳ සුන්දර සිහින මිස යථාර්ථය නොදකී.

මතුපිටින් පෙනෙන දෙය සත්‍යයම නොවන විට දී සිහින බිඳ වැටුණු දිනෙක ඔබට ඉතිරි වන්නේ කඳුළ පමණි. ඇතැම් විට එය ද ඔබට දරා ගැනීමට බැරි තරම් බර වැඩි ය. ප්‍රේමය ප්‍රතික්ෂේප කළ නොහැකි නම් අවම වශයෙන් ඔබට කල් දැමිය හැකි ය. ඔබ තීන්දුවක් ගත යුත්තේ වඩාත් යහපත් පරිසරයක නිවැරැදි වේලාවක ය. එවිට ඔබට ම ඔබ කළ යුතු දේ පිළිබඳ නිවැරැදි තීන්දුවක් ගත හැකි ය.

අත්වැල් බැඳන් යන්නට සංසාර ගිරි දුර්ගයේ අත් නොහැර සිටින්නට සපථ කළ බොහෝ අයට මහ වැසි වැටෙන්නට වුවමනා නැත. එක් පිනි කඳුළු බිඳක දී ඇතැම් විට ඔබ හැර යනු ඇත. ඒ බොහෝ විට වෙන කළ හැක්කක් නැති නිසා ය. අධ්‍යාපනය ලැබිමට ඇති සුන්දරතම පාසල් අවධිය ඔබට යළිත් කිසිදු දිනෙක හමු නොවේ. එය අතැර දමා ගිය හැම කෙනෙකුම පසුව පසුතැවෙන බව ඉතිහාසයේ අත්දැකීමයි.

මේ මොහොතේ පළමු කාර්යය විය යුත්තේ හෙට වෙනුවෙන් අද කළ යුතු දෙය පළමුව කිරීම බව ඔබ විසින් ම අවබෝධ කර ගැනීමයි. ඔබේ ඉගෙනුම ඔබට වඩාත් වැඩි වටිනාකමක් ද එක් කරනු ඇත. අතිශයින් ම සුන්දර වූ හැඟීම්වලට තව කලක් රැඳෙන්නට දෙන්න. ඒවා සියල්ල ආදරයෙන් රැක බලා ගන්නට හැකි තරම් ඔබේ හදවත විශාල ය.

ලුණු වතුර බිමට තරම් හදිසි නොවිය යුත්තේ ඔබ ගමන් කරමින් සිටින්නේ ක්ෂේම භූමියක් තරම් අපූරු ගොඩබිමකට වන නිසා ය. එතැනට ගමන් කළ පසු ඔබට කියන්නට අලුත් ගීතයක් තිබේ.

පවසට ඵල නැත සයුරේ රළ වැල්
දිය දෝතක් බොමි දොළකින් සිහිලැල්…..

Scroll to Top