අනියම් සම්බන්ධතා යනු අද ඉතා ජනප්‍රිය මාතෘකාවකි. අතීතයේත් මේවා තිබිණි. නමුත් එදා නොදියුණුයැයි කියන සමාජය වත් අද තරම් වල්වැදී නොතිබුණු බව මේවා පිළිබඳ විමසුම් ඇසින් බලනවිට පෙනී යයි. මෙය ඉතා පුළුල් ලෙස කතා කළ යුතු මාතෘකාවකි.
ඈත අතීතයේ රදළ ප්රභූවරු තමන්ගේ ප්රවේණිදාසයන්ගේ භාර්යාවන් මෙන්ම දූවරුන් පවා තම කායික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස යොදා ගත්හ.
දාහත් වන සියවසේ මෙරට එළිමහන් සිරකරුවකුව සිටි රොබට් නොක්ස් ගේ “එදා හෙළදිව“ කෘතියේ මෙන්ම පසුව විසිවන සියවසේ ප්‍රකට සමාජ විද්‍යාඥයකුව සිටි රැල්ෆ් පීරිස්ගේ ලිපි ලේඛන වලද දැක්වෙන ආකාරයට ඒ කාලයේ සොර සැමියා ගෙතුළ සිටින විට බිරිඳ අළු කුල්ලක් ගෙතුළ තබාගෙන හිඳ ඇත.
ඒ නියම සැමියා ගෙට එන විට මුහුණට දමා ගසන්නටය. අළුවලින් දෑස වැසී කිසිවක් නොපෙනී ගිය විට සොර සැමියාට පිට වී යාම පහසු ය. පවුලේ සහෝදරයන් සියලුම දෙනාට එකම බිරිඳක් ගෙන ඒමේ ‘එකගෙයි කෑම’ නම් සංකල්පයක්ද අපේ රටේ මහනුවර යුගයේ තිබිණි. මෙය අනියම් සම්බන්ධතාවක් ලෙස නොසැලකුණත් එක කාන්තාවක් එකම පවුලේ සහෝදරයන් සියලු දෙනා සමගම එක්ව ජීවත් වීම මෙහිදී සිදුවිය. එය එකල සමාජය තුළ අනුමත විය.
කෙසේ හෝ එක පිරිමියකුට එක බිරිඳක් යන සංකල්පය අපට ලැබුණේ බ්‍රිතාන්‍යයේ වික්ටෝරියානු සංස්කෘතිය තුළිනි. ඉන්පසු එය සමාජ පිළිගැනීම බවට පත්විය.
නමුත් දැන් විවාහ සම්බන්ධතා බරපතළ ලෙස බිඳී යමින් පවතින්නේ ද මේ බටහිර සංස්කෘතියේ ය. දැන් එම රටවල තරුණ පරපුර අතර ප්‍රචලිත වී ඇත්තේ විවාහ නොවී එකට ජීවත් වීම (Living Together) ය. ඒ අනුව පරමාදර්ශී පවුල (Ideal Family) යන සංකල්පය බටහිර සංස්කෘතිය තුළ දැන් බිඳී ගොස් තිබේ.
මින් බරපතළ පහරක් වැදී තිබෙන්නේ රටේ ජනගහනයට ය. ඊළඟ සියවස වන විට රටේ ජනගහනය අඩුවේයැයි ඒ රටවල පාලකයන් තුළ බියක් පවතින්නේ මේ ආකාරයට එකට ජීවත්වන පිරිස් දරුවන් හැදීම සාමාන්‍යයෙන් සිදු නොකරන නිසාය.
බ්‍රිතාන්‍යයේ ‘ප්‍රීතිමත් පවුල’ ලෙස රුපවාහිනි වැඩසටහන් ආදියෙහි පෙනී සිටින පවුල් ගැන සැලකුවොත් එය ඔවුන්ගේ දෙවන තුන්වන හෝ හතරවෙනි නැත්නම් පස්වෙනි විවාහයයි. නමුත් ඒ සමාජය තුළ අපේ සංස්කෘතියේ මෙන් දික්කසාද වූ අඹුසැමියන් ‘නයා පොළඟා’ තත්ත්වයට පත් නොවන නිසා ඇතැම් විට පරණ සැමියන් බිරියන් අතර බැඳීමක් නැතත් ඉඳහිට හෝ කායික සම්බන්ධතා පැවැත්වීමද සාමාන්‍ය තත්ත්වයක් වී තිබේ.
දැන් අන්තර්ජාලය නිසා ලෝකය එකම ගම්මානයක් බවට පත්වී ඇත. අවාසනාවන්ත තත්ත්වය වන්නේ දැන් මේවා අපේ අලුත් පරම්පරාව තුළද ප්‍රචලිත වී යාම ය. අද අපේ සමාජය තුළ ප්‍රේම සම්බන්ධතා කඩ වීම නිසා සියදිවි නසා ගැනීම් ක්‍රමයෙන් අඩුවී ඇත. දැන් වැඩිවී ඇත්තේ අනියම් සම්බන්ධතා නිසා ගහ මරා ගැනීම් සහ සිය දිවිනසා ගැනීම් ය.
අන්තර්ජාලය පැත්තකින් තබමු. අද රූපවාහිනී චැනල ගණනාවකින් දිනපතා විකාශය වන ටෙලි නාට්‍ය සංඛ්‍යාව අති විශාල ය. මේවා තුළ දිග හැරෙන තේමාව බොහෝ විටම අනියම් සම්බන්ධතා ය. අවිවාහක දෙදෙනකු අතර ඇති වන ආදරයකට වඩා අනියම් සම්බන්ධතා මිනිසුන්ට රසවත් ය. ඒ අපේ සමාජයේ ඕපාදූපවලට තිබෙන කැමැත්ත නිසා ය.
අනියම් සම්බන්ධතා, ගණිකා සේවනය, කැරෝකේ මේ ආදී අද සමාජය තුළ පවතින ලිංගිකත්වයට අදාළ බොහෝ දේවල් දෙස
බලන විට මීට දශක තුනහතරකට එපිට තිබූ සංස්කෘතියෙහි සීමා මායිම් ඉතා දැඩිව බිඳී ගොස් ඇති බව පැහැදිලිය. අද අනියම් සම්බන්ධතා සමාජයට මොන තරම් හුරුපුරුදු මාතෘකාවක් වී ඇතිදැයි කිවහොත් එය එතරම් බරපතළ දෙයක් නොව සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකන තරමට මිනිසුන්ගේ ආකල්ප වෙනස් වී තිබේ.
මේවායින් වාසි ගන්නේ ලිංගික ජාවාරම් කරුවන් ය. විවාහක කාන්තාවක් අනියම් සම්බන්ධතාවයක් පවත්වන විට ඇගේ සැමියා ඇය නිවසින් පිටමං කළොත් බොහෝ විට සිදු වන්නේ ඇය පාරට වැටීම ය.
මෙවැනි කාන්තාවක් ගණිකා වෘත්තියට වැටීමට තිබෙන අවදානම ඉතා වැඩි ය. එසේම මේ වන විට ගණිකා වෘත්තියේ යෙදෙන සුන්දර ළාබාල යුවතියන් අධ්‍යාපනය ලැබිමේ මුවාවෙන් ටියුෂන් පන්තිවලට පැමිණි යුවතියන් මෙම වෘත්තිය සඳහා බිලි බා ගන්නා බවට වාර්තා තිබේ. ඒ මේ සමාජය තුළ දැන් ලිංගික වෙළෙඳපොළක් බිහිවි තිබෙන නිසාය. දැන් කාන්තාවකට ඇඳුම් සාප්පුවක ෆිට්ඔන් කාමරයකට ගොස් ඇඳුමක් ඇඳ එහි ගැළපෙන නොගැළෙපන බව මැන බලා ගැනීමද බිහිසුණු තත්ත්වයක් වී තිබේ.
හේතුව මෙවැනි අවස්ථාවක එම කාමරය තුළ කිසිවකුට නොපෙනෙනසේ සවිකර තිබෙන කැමරාවකින් කාන්තාවකගේ නිරුවත් ඡායාරූප ගෙන පසුව එය ඇයට පෙන්වා බිය වද්දමින් ඇය කායික සම්බන්ධතාවලට පොළඹවා ගන්නා පිරිමින් ගැන මේ වන විට වාර්තා වී තිබෙන නිසාය.
සමහරවිට මේ පිරිමි එම කාන්තාව තවත් පිරිමින්ට විකුණති. මේ සියල්ල කරන්නේ ඇගේ නිරුවත් ඡායාරූප සැමියාට පෙන්වන බවට බිය වද්දමිනි. අන්තිමේ එම කාන්තාව ගණිකාවක බවට පත් වන්නේ ඇයටත් නොදැනී ඉබේම වාගේය.
මීට දශක කිහිපයකට ඉහත අතීතයේ අපේ සමාජයේ අඹුසැමියන් තුළ ලොකු බැඳීමක් සහ අඹුසැමියන් එකිනෙකාට ගෞරව කරන ස්වභාවයක් තිබිණි. සැමියා කියන දෙයකට ඉහළින් බිරිඳ ගියේ නැත.
සැමියා තුළ කෝපයක් ඇතිවූ විට සැමියා බිරිඳට තඩිබෑවේ ද නැත. ඔහු කරන්නේ නිවසින් ඒ මොහොතේ මදක් පිටව යාම වැනි දෙයකින් කෝපය පහ කර ගැනීම ය. මේ ආකාරයට පවුලේ සැමියාට මුල් තැන තිබුණද සැමියා බිරිඳව පාගාගෙන සිටියේද නැත. ඔහු ඇයට ගෞරව කළ අතර නිසි තැන දුන්නේය.
කුමක් හෝ තීරණයක් ගත යුතු අවස්ථාවක ‘ළමයින්ගෙ අම්මගෙනුත් අහල කියන්නම්’ ‘පවුලගෙනුත් අහල බලනවා‘ ආදි වශයෙන් සැමියන් කීවේ බිරිඳට නොදන්වා පවුලේ තීරණ ගැනීමක් නොතිබූ නිසාය. එකල සමාජයේ අඹුසැමියන් තුළ පැවති මේ සම්බන්ධය හුදු ආදරය මතම පදනම් වූවක් නොවේ. ඔවුන් ‘අයි ලව් යූ’ කියමින් එකිනෙකාව බදා ගත්තේ නැත.
ආදරය කිරීම අද කඩේකින් පාන් ගෙඩියක් ගන්නවා වැනි සරල දෙයකි. ඉතා ඉක්මනින් ආදර සම්බන්ධතා පලුදු වන්නේත්, මේ සරල ක්‍රියාව තුළ කිසිදු ගැඹුරක් නැති නිසාය. නමුත් එදා අතීතයේ අඹුසැමියන් අතර මීට වඩා බොහෝ ගැඹුරු සම්බන්ධයක් තිබිණි. එනිසා ඔවුන් සුළු දේකට තියා මහ ලොකු දේකටවත් ගහ මරා ගත්තේ නැත. වෙන් වුණේත් නැත.
මිය යන තුරු එකට සිටි අතර එකකු මියගිය පසු වෙන සැමියකු / බිරිඳකව සෙව්වේද නැත. දෙවන විවාහ එකල ඉතා අඩුය.
නමුත් දැන් ඒ ගැඹුරු සම්බන්ධතා බොහෝ සෙයින් බිඳී ගොස් ඇති නිසා සුළුදේකට පවා ගහ මරා ගැනීම සහ ඉන්පසු වෙන්වීම අද වන විට සාමාන්‍ය දෙයක් වී තිබේ. අන්තිමේ ඔවුන් යොමු වන්නේ අනියම් සම්බන්ධතාවලටය.
‘ජීවිතේ තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙමේ’ යැයි කියමින් ඔවුන් ගන්නා මේ දැඩි තීරණවල ප්‍රතිඵල භුක්ති විඳින්නේ දරුවන්ය.
අඹුසැමියන් අතර එකිනෙකා තුළ පැවතිය යුතු ගරුත්වය හා භක්තියත් දෙමාපියන් සහ දරුවන් තුළ පැවතිය යුතු ගරුත්වය හා භක්තියත් සිඳී ගිය මේ සමාජය දැන් ආපසු යමින් තිබෙන්නේ ශිෂ්ටත්වයට පෙර පැවති යුගය කරාය. මෙහි අවසානය කුමක්ද ?