රූප කොළ ඇතුළු කාඩ් පනස් දෙකෙන් සෙල්ලම් සිය ගණනක් පෙන්විය හැකි බූරුවා කොළ කුට්ටම, පැක් එක යන නමින්ද හඳුන්වති. කඩදාසිය නොපිට පෙරළා වුව අනිත් පැත්තේ ඇත්තේ කුමක්දැයි කිව හැකි තරමට දැනුමක් ඇති අය අප අතර සිටිති. ආසියා, හේරා, බූරුවා, පොරොව වැනි වදන්වලින් ඇතැම් කොළ නම් කර තිබේ. නිෂ්පාදකයා හිත සතුටින් නොමිලේ පිරිනමන ජෝකර්ලා දෙදෙනෙක්ද මේ අතර සිටිති.
තනි වංශයේ කුට්ටම්ද හතර වංශයේ කුට්ටම්ද වෙයි. හතර වංශයේ කුට්ටමක් නම් ඉස්කෝප්ප, රුවිත, හාරත, කලාබර යනු මේ මේ ඒවා යයි සාමාන්‍ය දැනීමක් ක්‍රීඩකයාට අවශ්‍යය. ඇදලා ගැහිල්ල, වහලා ගැහිල්ල, අනලා ගැහිල්ල, බේස්ත ගැහිල්ල, කුජීත ගැහිල්ල, කපා ගැහිල්ල හැරුණු විට යට කිරීමද මේ ක්‍රීඩාවේ යෙදෙන විට අවශ්‍ය වන්නේය.
බූරුවා කුට්ටමෙන් සෙල්ලම් කිරීමේදී තමා අතේ ඇති කඩදාසි ගැන මෙන්ම අනුන් අතේ ඇති කාඩ් ගැනද මනා දැනීමක් තිබිය යුතුවේ. එය සාමාන්‍ය දැනීම වන අතර වටහා ගැනීමට තරම් බුද්ධියක් ක්‍රීඩකයාට අවශ්‍යය. දේශපාලනයත් කුට්ටමේ සෙල්ලමත් බොහෝ විට එක සමානය. දෙකේ කොළේට වැටු ජෝකර්ලා රජවිය. වල් ආසීන්ට නොසිතු සැප සම්පත් ලැබුණි. තුරුම්පු ආසීන් කිහිප දෙනෙකු කැට ගණනටවත් ගත්තේ නැත.
මේ සෙල්ලමේ හැටි ඔහොමය. තුරුම්පු හංගාගෙන සෙල්ලම් කිරීමට හැකියාව ඇති බව එමගින් ඔප්පු කළේය. දැන් වැඩේ නැගලා යන්නේ වල් ආසීන්ගෙනි. ආසි හංගාගෙන බූරුවන්ගෙන් පමණක් සෙල්ලම පවත්වාගෙන යාම තමාගේ දක්ෂකමය. ආසීන් දෙකේ කොළේට වැටුණු අවස්ථාද මෙතන සිදුවිය.
පිට ඔට්ටු ඇල්ලු ඔල්මොරොන්දන්ලා පිටියේ වාඩි නොවී බලාගෙන සිටියේ මළ පෙරේත රොත්ත පින් ඉල්ලා සිටි ඉරියව්වෙනි. අවසානයේ තටුවේ තිබුණු ගොඩදිය මස් පමණක් නොව නියපොතු කැබැල්ල පවා අහිමි වූයේය. ඒ පෙර පවය. පූරුවේ කරුමයක් පලදීමකි. වස්දණ්ඩ පිම්බාට ඇතුළු වූයේ නැත. ඒ හිතේ චකිතය නිසාවෙනි.
කෙසේ නමුත් ඇනිල්ල තවම ඉවර නැත. ටයිටලය කවරක් වුවද වාසිය සමාන බව දැනගත්විට ආතල් එක නැග්ගේය. දහස් ගණන් ලකුණු ගත් අයට සේම එකම ලකුණක්වත් නැති උන්දැලාත් දෙදාහට වඩා ලකුණු රැස් කරගත නොහැකි උන්දැලාත් එකම වරප්‍රසාද ලබාගත්හ. අසාධාරණ යයි කියන්න කවර කුම්භාණ්ඩයෙකුවත් සිටියේ නැත. දෙපා සිඹින්නෝද නොවීය.
දහ අතේ කල්පනා කර කුට්ටම ඇනිල්ල සාර්ථකය. ඉවසා සිටීම හෝ රෙද්දේ අත පිසදා ගැනීම හැර වෙන විකල්පයක් නොතිබූ හෙයින් ආපසු හැරී ගිය අයද, නොපැමි‚ අයද, ආරාධනා නැති අයද අස්පයා මැරුණු කව්බෝයිලා නයා පැනගිය අහිකුණ්ටිකයාගේ තත්ත්වයට පත්විය. ඒ හැර වෙන කුමක් කරන්නද?
ගමේ කමට එළිවන තුරු හක පිඹ අවසානයේ ලොකු දුංකොළ රැගෙන වෙද ගෙදර ගිය අපූරුව අපි හොරැහින් දුටුවෙමු. කට්ටඩියා තක්කඩියකු බව දැන් ඒත්තු ගොස් ඇතිවාට සැක නැත. අලූත් ඇඳුම් මස්සවා ගත්තාට පලක් නොවීය. දෙන්නං වාලේ දුන්නා මිස වෙන සුදුසුකම්, හිතවත්කම්, යාලූකම්, නෑදෑකම් නොබලා ලැබුණු සහතිකය රෝල් කරගෙන ගියෝය.
කාඩ් කුට්ටම තෝරාගෙන තිබුණේ තනි වශයෙන් නොවූවද කුට්ටම අනා අවසානයේ බැලු කල පාට පාට රූපකොළවලට නම් පුංචි තංතෝසයක් ඉපදී තිබුණි. කරන්නට ඇති වැඩ ගැන සිතන කල්හි මේ නම් එසේ මෙසේ කෙළියක් නොවන බව පැහැදිලිය. දැන් ඒවා කළ යුතුමය. බෝතල් කුප්පිවලට හිරවී බන්ධනයට යටත් වී, නියෝගවලට, අණට කීකරු වී සිටීම ඇඟපතට හොඳය. කට්ටඩියාට ඉහළින් යාම අනතුරුදායකය. සුවච කීකරුව ඔඩොක්කු කුක්කන් බවට පත්වී හිඳීම හැර දාංගලේ පෙන්වීමට යාම ගුණදායක නැත.
වෙනදා කටින් කී දේවල් අද වෙන තැන්වලින් කියන්නේ හෙට දවස ගැන කල්පනා වන හෙයිනි. මේ ක්‍රියාවත් කලකට ඉහතදී අස්වීමේ ලියවිලි සාක්කුවේ තබා ගැනීමත් දෙකක් නොව එකම ගණයේ කටයුතු දෙකකි. ඒ බව මේ දවස් ගණනට වැටහි ඇත්නම් සුවදායකය. මෝල් ගස් ගිල්ල පසු පිඹුරා කෙළින් සිටියද එසේ එක ඉරියව්වේ ඉන්නට හුරු නැතිකම හා අමාරුව පිටස්තර කාටවත් නොපෙන්නට වග බලා ගත යුතුය.
#කාඩ්කුට්ටම