Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමියන්ගේ අත්හැරීමේ ගුණය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමියෝ ත්‍රිපිටකය, වේදය හා විවිධ සමයාන්තර දැනුමෙන් ද, විවිධ විෂය දැනුමෙන් ද, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, ලතින්, ග්‍රීක්, හින්දි ආදී විවිධ භාෂා දැනුමෙන් ද බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවෙන් ද යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර, ‍ජ්‍යොතිෂය හා අධි මානසික විද්‍යා දැනුමෙන් ද සමථ හා විපස්සනා භාවනා දැනුමෙන් ද එවකට හා දැනට සිටින කිසිවෙකුට නොදවෛනි වූහ.එහෙත් උන්වහන්සේ සියවස් සපිරි අවසාන භාගයේ පවා “මා තවම දැනීම අතින් මදි” යන හැඟීමෙන් පසු වූහ.

තවදුරටත් ඉගෙන ගත යුතු, අධ්‍යයනය කළ යුතු බොහෝ දේ ඇතැයි පවසමින් අමුත්තන් මුණ නොගැසෙන හා භාවනාවේ නොයෙදන සෑම අවස්ථාවක ම ‍පොත් පත් කියැවීමෙහි යෙදුණාහ. දේශීය විදේශීය ඩයිජස්ට් සඟරා ආදියෙන් නව දැනුම ලබා ගත්හ. හිසරදය වැලඳී සිටි අවස්ථාවල පවා දකුණු අතින් හිස සම්බාහනය කර ගනිමින් වම් අතින් ‍පොතක් ගෙන සනීප පුටුවේ හිඳ කියවීමේ යෙදුණාහ.
තමන් වහන්සේ ත්‍රිපිටකය කිහිප වරක් කියැවූ බවත්, බුදු දහම බොහෝ ගැඹුරු දෙයක් බවත්, බුදු දහමේ සඳහන් සූත්‍ර දහස් වාරයක් කියැවුවත් දහස් ආකාරයකින් අලුත් අලුත් දැනුම ලැබෙන බවත් නිතර පැවසූ දෙයකි. ජීවිතය ගැනත්, ලෝකය ගැනත් තව තවත් දැන ගත යුතු බොහෝ දේ ඇති බැවින් “අනේ අපි දන්නේ මොනවාදැ”යි කියා නිතර හිතෙන බවත් උන්වහන්සේ පවසති. විෂය කීපයක් හෝ එකක් දෙකක් පිළිබඳ සීමිත ප්‍රශ්න කීපයකට උත්තර ලියා උපාධි ලබන උදවිය “මම හරි උගතා ය මට වඩා දන්නා කෙනෙක් නැතැ”යි සිතා සිටියත් සෝවාන් පුද්ගලයකු තුළ ලෝක තත්ත්වය පිළිබඳ ඇති දැනුමෙන් දාහෙන් එකක්වත් ලෞකික පණ්ඩිතයනට නැතැයි ද උන්වහන්සේ පවසති.

අනුන් විසින් ලියන ලද ‍පොත්පත් කියැවීමෙන් ලබා ගන්නා දැනුම, පාඩම් කර ගැනීම, සිතේ මතකයේ තැන්පත් කර ගැනීම “අනුන්ගේ දැනුම ණයට ගැනීමක්” ලෙස දක්වන උන්වහන්සේ එය අනුන්ගේ ආහාරයක් අනුභව කොට නැවත නැවත වමාරා කන්නා සේ ලෝකයට ප්‍රකාශ කිරීම උගතුන්ගේ කාර්යය වී ඇති අතර අධ්‍යාත්මය දියුණු කරන පුද්ගලයා පමණක් අලුතින් දෙයක් අවබෝධ කර ගන්නා බව පවසති. ඒ නිසාම උන්වහන්සේ අවසානය දක්වාම දැනුම දියුණු කර ගැනීමට වෙහෙසුණාහ.

උන්වහන්සේ ජයවර්ධනපුර රෝහ‍ලේදී අවසන් හුස්ම හෙළීමට පෙර මුළු ශරීරයම පාහේ අක්‍රියව තිබියදී එක එල්‍ලේ අහස දෙස ජුව බලාගෙන දකුණු අත විදහා පාමින් සාකච්ඡාවක, දේශනයක යෙදුණු ආකාරයක් දුටු බව අවසන් මොහොතේ උන්වහන්සේගේ යහන ළඟ සිටි ශිෂ්‍ය මැදබැද්දේ නන්දසාර හිමියෝ පවසති. ඒ අවස්ථාවේ මහ නාහිමියන්ගේ මුවින් හඬක් පිට නොවූව ද විනාඩි 15-20 ක් පමණ කා සමග හෝ කරුණු පැහැදිලි කිරීමක යෙදුණු බවත්, එය අවසානයේ ඉතා ශාන්තව දෑස් පියාගත් බවත් නන්දසාර හිමියෝ පවසති.
බළන්ගොඩ නාහිමියෝ ජීවත්ව සිටියදී කිසිවක් හෝ කිසිවෙකු කෙරෙහි ඇල්මක් නොවීය. “මට දැන් මේ කිසි දෙයක් ගැන ආසාවක්, ඇල්මක් නෑ. හැබැයි ‍පොත්පත් ගැන නම් තවම මගේ ඇල්ම ගතිය තියෙනවා.” යැයි නිතර පැවසූහ.

එසේ ම උන්වහන්සේ අප ඇසුරු කළ කාලය තුළ උන්වහන්සේ සතු අල්මාරියක, පෙට්ටගමක හෝ ලාච්චුවක භාණ්ඩ, ද්‍රව්‍ය තොග රැස් කිරීමක් දක්නට නොලැබුණි. උන්වහන්සේට ලැබුණු පිරිකර පසුව පැමිණෙන සුදුසු යැයි සිතෙන කෙනකුට හෝ වෙනත් ස්වාමීන් වහන්සේ නමකට පිරිනැමූහ. තවත් ඉතුරු වූ දෙයක් වී නම් විහාරවාසී භික්ෂූන් වහන්සේ විසින් භික්ෂූන්ගේ ‍පොදු ප්‍රයෝජනයට ගෙන ගියහ. නාහිමියන්ගේ යැයි දක්නට ලැබුණේ යහනේ පැත්තක තැන්පත් කර තිබූ අමතර තුන් සිවුරු කට්ටලයක් පමණි. ඒ විහාරයෙන් පිටතට වැඩම කරනා අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීමටය. ඊට අමතරව තිබුණේ මේසය මත වූ ‍පොත් කීපයක්, පෑනක්, උපැස් යුවළ හා සැරයටියත් පමණි. යතුරක් හෝ යතුරු කැරැල්ලක් උන්වහන්සේ වෙත කිසි දිනක දක්නට නොලැබුණි.

උන්වහන්සේ වෙත පැමිණි කෙනෙකු ඉල්ලා සිටියහොත් තමන් සතු ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමට නොපැකිළුණහ.
බළන්ගොඩ නාහිමියෝ කොළඹ ආනන්ද කොලීජියේ උගන්වන කාලයේ දිනක් මාදම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයක ධර්ම දේශනයකට වැඩම කළහ. පසුදා උදේ ආපසු දුම්රියෙන් පැමිණීම සඳහා දුම්රිය ස්ථානයට පැමිණියහ. එහිදී කිළිටු සිවුරක් හැඳගත් වයස්ගත හාමුදුරු කෙනෙකු දක්නට ලැබුණි. උන්වහන්සේ වෙත ගිය බළන්ගොඩ හාමුදුරුවෝ “ඇයි මේ කිළුටු සිවුරක් ‍පොරවාගෙන” යැයි විමැසූහ. “අපි දුප්පත් පන්සල්වල දුප්පත් අය නොවැ” යි වයස්ගත හාමුදුරුවෝ පවසා ඇත. ඒ හාමුදුරුවන් පැත්තකට කැඳවාගෙන ගිය බළන්ගොඩ හාමුදුරුවෝ තමන් හැඳ සිටි අලුත් පිරිසිදු සිවුර උන්වහන්සේට පිරි නමා උන්වහන්සේ හැඳ සිටි කිළුටු සිවුර පෙරවාගෙන ආපසු පැමිණිය. මාළිගාකන්ද පිරිවෙනට පැමිණි විට අනෙකුත් ස්වාමීන් වහන්සේලා නහය හකුළුවමින් “මොකද මේ කිළුටු සිවුරක් ‍පොරවාගෙන” යැයි සිනහ වෙද්දී කාමරයට ගොස් කිළුටු සිවුර ඉවත්කර නා පිරිසිදුව වෙනත් සිවුරක් ‍පොරවා ගත්හ.

මේ දෙවන ලෝක සංග්‍රාමය සමයේ සිදු වූ දෙයකි. දිනක් පිට ප්‍රදේශයක සිට බළන්ගොඩ හිමියෝ බස් රියෙන් බළන්ගොඩට පැමිණියහ. කිළුටු සිවුරක් හැඳ, පරණ බුරුම කුඩයක නනවලට තල් කොළ තබා මැසූ කුඩයක් ඉහළාගෙන නගරයේ ගමන් කරන ස්වාමීන් වහන්සේ නමක් දුටහ. උන්වහන්සේට කතා කොට පසෙකට කැඳවා තමන් වහන්සේ හැඳ සිටි සිවුර හා කුඩය පිරිනමා ඒ ස්වාමීන් වහන්සේ හැඳ සිටි කිළුටු සිවුර හැඳගෙන තල් කොළ තබා මැසූ කුඩය ඉහළාගෙන පන්සලට වැඩියහ. මේ සිද්ධිය අප සමග කීවේ බළන්ගොඩ ශ්‍රී සුධම්මවංශ නාහිමියෝ ය.

‍පොල්ගස්ඕවිට නිවසක ආරාධනයකට වැඩම කොට ලැබුණු රුපියල් විසිපන්දහසකට අධික වටිනාකමක් ඇති පිරිකර තොගය ගමේ පන්සලට යැවූ සිද්ධිය මීට පෙර ලිපියක සඳහන් කළෙමු.
බළන්ගොඩ නාහිමියෝ තමන් හමුවට පැමිණෙන ඒ ඒ පුද්ගලයාට ගැළපෙන පරිදි කතාබහ, අවවාද කිරීමට පුදුම හැකියාවකින් සමන්විත වූහ. පෞද්ගලික, ලෞකික දියුණුව පැතූ අයට එසේ දියුණු වීමට අවශ්‍ය උපදෙස් දුන්නාහ.

නාහිමියෝ අපවත් වීමට දසක කීපයකට පෙර දිනක් වරකා‍පොළ ප්‍රදේශයේ නිවසක ධර්ම සාකච්ඡාවකට වැඩම කළහ. ඒ නිවැසියන්ගේ ඥාතියකු වූ ඇම්. ඩී. ධර්මසේකර මහතා ද බළන්ගොඩ හාමුදුරුවන් එහි වඩින බව ආරංචි වී එහි ගියේ ය. දේශබන්ධු ධර්මසේකර මහතා අප සමග කීවේ “එදා උන්වහන්සේ බණ කීවේ මටම ය” කියා හිතන බවයි. අනුන් ළඟ කුලියට කම්කරුවකු සේ බිඩි ඔතමින් සිට තමන්ගේම බිඩි ව්‍යාපාරයක් ආරම්භ කර සිටි ධර්මසේකර මහතාට එදා බළන්ගොඩ හාමුදුරුවන් කී දෙය අදත් ගෞරවයෙන් සිහිපත් කරයි.
“හොඳට හම්බ කරන්න. උනන්දුවෙන් හම්බ කරන්න. තව තවත් ආයෝජනය කරන්න. හොඳට ‍පෝෂ්‍යදායක ආහාර වළඳන්න. ලස්සනට පිරිසිදුවට අඳින්න. දිය යුතු සුදුසු අය බලා පරිත්‍යාග කරන්න. හැම මොහොතකම මම දියුණු වෙනවායි කියා සිතන්න. එදා ඒ අනුශාසනය දැඩි සේ අවධාරණයට ගත් ඒ මහතා දැන් ප්‍රධාන පෙළේ හෝටල් අයිතිකරුවෙකි. බිඩි නිෂ්පාදකයෙකි.

අමතර කොටස් වෙළෙඳ‍පොළක, මූල්‍ය ආයතනයක අයිතිකරුවෙකි. සමාජ සේවකයෙකි. ප්‍රදේශයේ පිළිගත් ප්‍රභූවරයෙකි. උපන් ගමේ දියුණුව සඳහා ලක්ෂ දොළහක් වියදමින් ප්‍රජා ශාලාවක් ගොඩනගා දියුණු වන්නන්ට අත දෙයි. මේ වන විට ඒ මහතා සියලු ව්‍යාපාර දරු දෙදෙනාට පවරා අනුශාසක තත්ත්වයේ සිටිමින්, භාවනායෝගී ආගමික ජීවිතයක් ගත කරයි. තමන්ගේ ජීවිතය හා ව්‍යාපාර සාර්ථක වූයේ එදා බළන්ගොඩ නාහිමියන්ගේ උපදෙස් නිසා බව පවසයි. එසේම උන්වහන්සේ තමන්ගෙන් කිසිවක් බලා‍පොරොත්තු නොවූ බව පවසමින් තවත් එක් දෙයක් ලැජ්ජාවෙන් සිහිපත් කරයි. “එදා මමත්, පණ්ඩිතයා වගෙ මගේ කාඩ් එකක් (ලිපිනය) නායක හාමුදුරුවන්ට දුන්නා. ඔබ වහන්සේට ඕනෑම දෙයක් මට දන්වා එවන්න” කියා.

උන්වහන්සේ හිනාවෙලා “මට එපා” කීවා යැයි ද අප සමග ධර්මසේකර මහතා පැවසීය.
එසේම දෙවියන්ගෙන් උදව් බලා ‍පොරොත්තුවන උදවිය ද බළන්ගොඩ නාහිමියන්ගෙන් උපදෙස් පතන අවස්ථා ඇත. ඒ වැනි අයට ඉතා කුඩා මන්ත්‍රයක් ලියා දෙති. “තමන්ගේ ප්‍රතිපත්ති ශීලයක පිහිටලා දෙවියන්ට පින් දීලා මේ මන්ත්‍රය මතුරන්න. කතරගම දෙවියන්ගෙන් ඉල්ලන්න. ඉල්ලන්නේ නැතිව කිසි කෙනෙකුට ලැබෙන්නේ නෑ. ඒ නිසා ප්‍රතිපත්ති ගරුකව හිඳ ඉල්ලන්න. එතකොට ලැබේවි” යි එවැනි අයට උන්වහන්සේ උපදෙස් දෙති. එය කෙතරම් මනෝ විද්‍යාත්මක දැයි අපට සිතේ.

බළන්ගොඩ නාහිමියෝ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර පිළිබඳව ද දැන සිටියහ. එහෙත් ඒවා භාවිත කිරීමේ යෙදුණේ නැත.
මේ බව දන්නා එක්තරා පුද්ගලයෙක් දිනක් උන්වහන්සේ වෙත පැමිණ “අනේ නායක හාමුදුරුවනේ, මට යකෙක් දකින්න ආසයි. යකෙක් බලන්න ක්‍රමයක් කියා දෙන්න” යැයි ඉල්ලා සිටියේ ය. එහි ඇති නිෂ්ඵලතාවයත්, නුසුදුසු බවත් ඔහුට වටහා දීමට කරුණු කියා එය ප්‍රතික්ෂේප කළහ.
එහෙත් ඔහු යළිත් යළිත් දිනපතාම පාහේ පැමිණ යකෙක් පෙන්වන්නැයි නා හිමියන්ට ඇවිටිලි කරන්නට වූහ. මේ කීවා නාහන පුද්ගලයාගෙන් බේරෙන්නට බැරිම තැන නාහිමියෝ කුඩා මන්ත්‍රයක් ලියා දී එය කළ යුතු ආකාරය ද කියා දුන්නේය. ඔහු ඒ අනුව කටයුතු ද කළේ ය.

පසු දින එළිවෙන්නට ඒ පුද්ගලයා නාහිමියන් සොයාගෙන බියපත් වූ මුහුණින් යුතුව පන්සලට දුවගෙන ආවේය. “අනේ නායක හාමුදුරුවනේ යකාව නම් දැක්කා උගේ දිහා බලන්න බැරි තරම් නපුරුයි. භයංකාරයි. ඌ ආපසු යන්නෙත් නෑ. මාව බය කරනවා. ඊයේ රෑ එළිවෙනකම් මට නින්දකුත් නෑ. මේ යකාගෙන් නිදහස් කර ගන්නැයි” වැඳ වැටී ඉල්ලා සිටියේ ය.
එවිට ඔහුට එයින් මිදීමට ද ක්‍රමය කියා දී පිටත් කර හැරියේ ය. මෙය පනාවැන්නේ ධම්මාකර හිමියෝ අප සමග කී කතාවකි.

චිත්ත විවේකාශ්‍රමයේ කතාවත් එවැන්නකි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට බත්තරමුල්‍ලේ පිහිටි මේ සුන්දර භූමි භාගය පිළිබඳ වාර්තා විය. මෙවැනි භූමි භාගයක් සුදුසු චිත්ත විවේකය සඳහා ය. එය ලබා දිය යුත්තේ කාටදැයි සිතූ එතුමාට සිහිපත් වූයේ බළන්ගොඩ නාහිමියන් ය. ජනාධිපතිවරයා වුව ද උන්වහන්සේ ළඟට ගොස් සාකච්ඡා කළේ ය. මේ සාකච්ඡාව අතර තවත් වැදගත් දෙයක් සිදු විය. ජනාධිපතිවරයා මහා නාහිමියන්ට සමීපව කතාබස් කරන විට විදුලි බුබුලු දැල්වෙන බවක් පෙනුණි. එය කැමරාකරු අතින් ඡායාරූප ගැනීම බව එතුමා දැක්කේය. සාකච්ඡාව අවසන් වූ සැණින් කැමරාකරු කැඳවීය.

“ඔය කැමරාවේ රීල් එක ගලවලා එළියට ගන්න. මේ වගේ උත්තමයන්ගේ පින්තූර අප සමග පත්තරවල පළවුණොත් ඒක දේශපාලන වාසියක් වෙනවා. එහෙම කරන එක හොඳ නැහැ” යි ජනාධිපතිවරයා ඒ සේයා පටය විනාශ කැරවීය.
චිත්ත විවේකාශ්‍රමය හා භූමි භාගය ඉතා සුන්දරව නිර්මාණය විය. එය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහ නාහිමිපාණන් වහන්සේ වෙත පූජා කරන ලදී.

මේ අතර ආගන්තුක භික්ෂුවක් චිත්ත විවේකාශ්‍රමයට පැමිණියේ ය. නාහිමියෝ ඒ හිමියන්ට ද නතර වන්නට ඉඩ දුන්හ. ජනාධිපතිවරයා හදිසියේ අභාවප්‍රාප්ත විය. නැති අවුල් ඇති වන්නට පටන් ගත්තේ ය. දේශපාලන බලපෑම් චිත්ත විවේකාශ්‍රමයට ද රිංගුවේය. ආගන්තුක භික්ෂුවට ද තණ්හාව ඇතිවන්නට පටන් ගත්තේ ය. බළන්ගොඩ නාහිමියන්ට මේ තත්ත්වය වැටහී ගියහ. උන්වහන්සේ අතට ගත්තේ සැරයටිය පමණි. ස්ථානය අලුයම ලූ කෙළ පිඩක් සේ සිතින් ඉවත ලා චිත්ත විවේකාශ්‍රමයෙන් පිට වී බළන්ගොඩ නන්දාරාමයට වැඩම කළහ. ඒ ගියා ගියාමය. නැවත චිත්ත විවේකාශ්‍රමයට පැමිණියේ නැත. ඒ ගැන කතා කළේ ද නැත. ඒ ඕනෑම දෙයක් අත්හැර දැමීමට උන්වහන්සේ තුළ පැවති “දැඩිව අල්ලා නොගැනීමේ” ගුණයයි.

ආශාව, තණ්හාව, ඊර්ෂ්‍යාව, ද්වේෂය, මහා ගින්නකි. නිතර සිත දවාලමින් පවතින බුර බුරා නගින ගින්නකි. ආගන්තුක භික්ෂුව ද පසු කාලයක ගින්නකට අසුව දැවී අපවත් වූ බව දැන ගන්නට ලැබුණි.

Scroll to Top