උදෑසන වුවත් ඉර හැංගී වැහි අඳුර ඉහිරී තිබිණි. නිශාදි බුද්ධිකා වෙනදා මෙන්ම රැකියාවට යන්නට නිවසින් එළියට බැස්සාය. පුරාණ මීරිගම කුරුඳුවත්තේ සිට අගනුවර වූ රැකියා ස්ථානයට ඇය ගියේ දුම්රියෙනි. දුම්රියට ගොඩවන්නේ විල්වත්ත දුම්රිය ස්ථානයෙනි.
නිශාදි සේවය කළේ අගනුවර පිහිටි පෞද්ගලික රැකියා ආයතනයකය. ඇය එම රැකියාව රැකියාවක් වුවමනා නිසාම තෝරා ගත්තා මිසක ආසාවෙන් හිටියේ ගුරුවරියක වන්නටය. ඒ නිසාම ඇය තමාට ලැබුණු සරසවි වරම ද පසෙක දැමුවාය. අනතුරුව අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඉල්ලුම් කළ ද ඇයගේ බලාපොරොත්තු ඇයට අතවනා ඈතටම ගොස් තිබුණේය.
ඒ.. එක් ලකුණක අඩුපාඩුවෙන් ඇයට අධ්‍යාපන විද්‍යා පීඨවල දොරගුළු වැසීමෙනි. ඒ වනවිටත් යළි සරසවියට යාම පමා වී තිබූ නිසාම ඇයට වෙනත් රැකියාවක් තෝරා ගන්නට සිදු වුණේය.
පවුලේ දෙවැනි දරුවා වූ නිශාදි නිල්මිණි අක්කාටත් නිලූෂිනී නංගීටත් නිලාන් මල්ලිටත් බෙහෙවින්ම ආදරය කළාය. හමුදාවේ සේවය කළ තාත්තා සෝමවීර වසර 24ක සේවා කාලයකින් පසු ඉන් ඉවත්ව පෞද්ගලික අංශයේ රැකියාවකට එක් වීමෙන් ඔහු සිටියේ නුවරය. ඒ නිසා නිශාදිගේ අම්මා සුමිත්‍රාට දරුවන් ගැන පැවරී තිබුණේ විශාල වගකීමකි.
අගනුවර රැකියාවට යන්නට පටන් ගත් දා පටන් නිශාදි උදෑසන තනිවම දුම්රිය නැවතුමට ගිය ද හැමදාමත් සවස ඈ පැමිණෙන වේලාවට අම්මා හෝ නිලාන් මල්ලී ඇය කැඳවා එන්නට එහි ගියේය. ඔවුන් නිතර එහි ආවේ ගියේ මීටර් දෙසීයක පමණ දුරක් ඇති ‘වෙලමැද’ පාරෙනි.
ජීවිතයේ වටිනාම තිළිණය ලෙස කසුන් ගීතාංජන උඩවත්ත නිශාදිට ලැබුණේ ද අගනුවර රැකියාව නිසාය. වසර හතරකට පමණ පෙර සිට ඇය හා සම්බන්ධයක් ඇති කරගෙන සිටි කසුන් ගම්පහ උඩුගම්පොළ පදිංචිකරුවෙකි. ඔහු රැකියාව කළේ ද අගනුවරය. හැමදාමත් උදෑසන දෙදෙනා ගමන් කළේ එකම දුම්රියෙනි. සන්ධ්‍යාවට පැමිණියේ ද බොහෝවර එකම දුම්රියෙනි.
නිශාදිට කලින් එන්නට හැකි වූ සෑම දිනකම පුරුදු මහව දුම්රියට කලින් ඇති රඹුක්කන දුම්රියෙන් නිශාදි ගෙදර ආවාය. අවස්ථාවක් තිබුණේ නම් කසුන් ද එම දුම්රියෙන් ඇය හා ගම්පහ දක්වා යන්නට දිව එන අවස්ථා තිබුණේය.
ඔවුන් දෙදෙනාගේ සම්බන්ධයට මව්පිය ආශිර්වාදය දෙපසින්ම ලබන්නට තරම් දෙදෙනාම වාසනාවන්ත වී සිටියහ. විවාහයට දින ද තීන්දු විය. මංගල උත්සවය සඳහා ශාලාවකට, මංගල පෝරුවට මුදල් බැඳුණේය. මංගල ඇරයුම්පත් ද මුද්‍රණය කෙරිණි.
නිශාදිට කසුන් කීපවරක් කතා කළේය. එදින ඇයට සේවය නිමවා කලින් යන්නට පුළුවන් වී තිබිණි.
“අද මට කලින් යන්න පුළුවන්. එනවද?”
ඒ මොහොතේ ද කතා කළ කසුන්ගෙන් ඇය ඇසුවාය.
“මට එන්න වෙන්නේ නෑ නෝනේ. වහිනවානේ.. කුඩයකුත් නෑ. ඔයා පරිස්සමට යන්න.”
කුඩයක් නොමැති නිසා නිශාදි හා යන්නට නොහැකිව සිටි කසුන්ට ඇය සමග කෙසේ හෝ යන්නට සිතුණේය. ඒ නිසා කාර්යාලයෙන් එළියට බැස ගත් ඔහු අසල කඩයෙන් කුඩයක් ද මිලදී ගෙන කොටුව දුම්රියපොළට ගියේය. ඒ සවස 5.05ට පමණය. එනමුත් ඒ වනවිටත් රඹුක්කන දුම්රිය පිටත්ව ගොස් තිබිණි. කසුන් වහා ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඇය ඉන්නේ කොහේදැයි ඇසුවේය.“දෙමටගොඩ”
“ඔයා එක්ක යන්න හිතාගෙනයි මං ආවේ. ඒත් කමක් නෑ.. ඔයා පරිස්සමට යන්න නෝනේ..”
සියුම් පාළුවක් දැනුණ ද වෙනදාට වඩා පැය භාගයක් පැයක් කලින් ගෙදර යාම ගැන ඔහු සතුටු වුණේය. අනතුරුව පැමිණි මහව කෝච්චියට කසුන් නැගුණේය.
දවස පුරාම මහ වැස්ස නිසා නිශාදිලා යන එන වෙල මැද පාර ද සන්ධ්‍යාව වනවිට වැසි දියෙන් යට වී තිබුණේය. මිනුවන්ගොඩ ලොකු අක්කාගේ ගෙදර ගිය නිලාන් මල්ලී සවස 6.15ට පමණ ගෙදර ආවේය. ඒ වනවිට ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී තිබුණි.
“කමත ළඟ පාරේ වතුර දාලා එන්න බෑ. කරන්ට් එකත් නෑ. වැස්ස හින්දා චූටි අක්කා කලින් එයිද දන්නෑ.”
ඒ නිසාම ඔවුන් නිශාදිගේ දුරකථනයට ඇමතුමක් ගත්හ. ඇමතුම සම්බන්ධ වූයේ නැත. යළි යළිත් ගත්තද එයින් ඇසුණේ ‘ප්‍රතිචාරයක් නැත.’ යන්න පමණකි.
ඒ වැස්සේම සුමිත්‍රා අම්මා මගට බැස්සාය. නිශාදි හමුවනතුරුම ඇය ඉදිරියට ගියාය. ඒ මොහොතේ වැස්සත් වැහි අඳුරත් එක්ව පරිසරය පුරා දැඩි අඳුරක් තිබිණි. වටපිටෙන් ඇසුණේ වාහන යන එන ශබ්දයත්, වැහිවතුර ගලා යන හඬත් පමණකි. ‘සුමිත්‍රා අම්මා’ විදුලි පන්දමක් ද දල්වාගෙන සරත්ගේ කඩේ ළඟටම ගියාය. ඒත් නිශාදි හමුවූයේ නැත.
ඇය කඩය ළඟට වී කෝචිචියෙන් බැස එන සෙනග දෙස බොහෝ වේලාවක් බලා සිටියාය. මහව කෝච්චිය ද පැමිණුණේය. ඒත් එයින් බැස ආ සෙනග අතරේ ද නිශාදි සිටියේ නැත. කිසි දිනකත් මේ තරම් රෑ නොවන දියණිය එන්නට පමා වන හේතුව කුමක්දැයි සිතමින් ඇය රාත්‍රී 9.30 වනතුරුත් එහිම සිටියාය.
මහව කෝච්චියෙන් ගෙදර ගිය කසුන් නිශාදිගේ දුරකථනයට කතා කරන්නට උත්සාහ ගත්තද එය ක්‍රියා විරහිත වී තිබුණි. කීපවරක්ම එයට ඇමතුමක් ගන්නට උත්සාහ කළ ඔහු ඇයගේ නිවසට කතා කළේය. නිශාදි ඒ වන විටත් ගෙදර පැමිණි නැති බවත් අම්මා ඇය බලන්නට මගට ගිය බවත් ලොකු අක්කා කීවාය. නිශාදි රඹුක්කන දුම්රියෙන් ගෙදර පැමිණි බව කසුන් ඒ මොහොත්ම ලොකු අක්කාට කීවේය.
“ඔයාගේ දුව ආවනේ. ඇයි මෙතැන බලාගෙන ඉන්නේ. මාත් එක්කත් හිනාවෙලා ගියේ..”
ඒ වනවිටත් නිශාදි එනතුරු මග බලාගෙන සිටි සුමිත්‍රා අම්මාට දුම්රියපොළ ළඟ මාළු ලෑල්ලේ සිටින කාන්තාව කීවාය.
“චුටි නෝනා තවම ගෙදර ආවේ නෑ. ඒ වෙන කෙනෙක් වෙන්න ඇති.”
අම්මා එසේ කීවද ඒ වනවිටත් ඇයගේ හිත නොසන්සුන් වී තිබුණේය. ඇය තවත් මඳ වේලාවක් පාර බලා හිඳ නොසන්සුන් සිතින්ම ගෙදර ආවාය. ඒ වනවිට කසුන් කීපවරක් නිවසට කතා කොට තිබුණේය. නිශාදීගේ ජංගම දුරකථනයට 75 වතාවක් කතා කරන්නට උත්සාහ දරා තිබුණි. ඇයගේ නොපැමිණීම බලා හිඳින්නට නොහැකි වූ ඔහු ඒ වනවිටත් උඩුගම්පොළ සිට කුරුඳුවත්තේ නිශාදිගේ ගෙදරට එන්නට පිටත්ව තිබුණේය.
නිවසට පැමිණි සුමිත්‍රා අම්මා නැවතත් බාල පුතු සමග ඇය සොයන්නට පාරට බැස්සාය.
“වතුර පාරත් සැරයි. ලයිටුත් නෑ. කළුවරයි. අනේ පුතේ චූටි නෝනට කලන්තයක්වත් හැදිලා වතුරට වැටුණාවත්ද?”
දණක් වැසෙන්නට වතුරෙන් පිරී ඇති වෙළ මැද පාරෙන් නිලාන් හා ඇවිද යමින් අම්මා කීවාය. නිලාන්ට ද එසේ සිතී තිබිණි. නොඑසේ නම් කෝච්චියෙන් පැමිණ බැස ආ චූටි අක්කා මේ වන විටත් ගෙදරට පැමිණිය යුතු විය. ඒ මොහොතේ කඩය ළඟ සිටි තරුණයෝ ද නිලාන්ගේ සහායට එක්වූහ.
“බයවෙන්න එපා. අපි හොයමු.”
ඒත් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය. පාරේ අවසානය දක්වාත් විදුලි පන්දම දල්වමින් ඇය සෙව්වත් සොයා ගන්නට නොහැකි වුණේය. ඒ වනවිට නිශාදිගේ නිවසට පැමිණි කසුන් ඔහුගේ මවත් සොහොයුරියත් එහි රන්දා පැමිණි වාහනයෙන්ම නිශාදිගේ අම්මා සහ නිලාන් සොයා පාරට පැමිණියේය. ඔහු ඔවුන් දෙදෙනා සමග මීරිගම පොලිසිය වෙත ගියේය. එවිට වෙලාව රාත්‍රී 10.30ට පමණ විය. පැමිණිලි බාර ගන්නා නිලධාරියා ළඟට ගිය සුමිත්‍රා අම්මා දුම්රියෙන් පැමිණි දියණිය ගෙදර නොපැමිණි පුවත දන්වා සිටියාය.
“බයවෙන්න එපා. ළමයා යාළුවෙක්ගේ ගෙදර යන්න ඇති.”
ඔහු බොහෝ සැහැල්ලු ලෙස කීවේය. කිසිදාක නිශාදි එසේ නොකරන බව දන්නා සුමිත්‍රාට එයින් හිතහදා ගත හැකි නොවුණේය.
“ඔයාට අමතරව එයා තවත් පිරිමි ළමයි ආශ්‍රය කළාද?”
හිත්වල ඇවිලෙන ගින්නේ ස්වභාවය නොදැන හෝ අවබෝධ නොකොට යළිත් ඔහු කීවේය.
“ටිකක් බලන්න. පොඩි ළමයෙක් නෙවේනේ. ඔය පාරේ ළමයට අනතුරක් වෙන් නෑ. ගෙදර එයි.”
එකී නිලධාරියා සුමිත්‍රා අම්මලාගේ පැමිණිල්ල පොතේ සටහන් කර ගත්තේවත් නැත. අසරණ වූ වෙලාවට නැති නීතියේ පිහිට කුමකටදැයි සිතමින් ඔවුහු පොලිසියෙන් පිටව මීරිගම දුම්රිය නැවතුමට ද ගියහ. දුම්රිය පැමිණි වෙලාව ද සොයා බැලූ ඔවුහු යළි නිවස වෙත පැමිණියහ.
නිශාදීට කුමක් හෝ කරදරයක් සිදු වී ඇතැයි අම්මාට මෙන්ම අනෙකුත් අයට ද ඒ වනවිට යාන්තමට දැනෙමින් තිබිණි.
කසුන් හා නිලාන් ගමේ පිරිසක් සමග නැවතත් නිශාදි සොයන්නට පාරට ගියහ. වැසි දියට තෙමෙමින් ඔවුහු අහසේ කොටන විදුලි එළියෙන් ද අත ඇති විදුලි පන්දම එළියෙන් ද ඇය පිළිබඳ සලකුණක් හෝ සෙව්වෝය. ඒ වන විට එක්ව සිටි පිරිසෙන් මිදුණු නිලාන් අසලින් ඇති කමත දෙසට විදුලි පන්දම දල්වමින් එදෙසට යන්නට සැරසුණේය.
“ඔය කොහේද යන්නේ මල්ලී. නෝනෙට ඔහෙට යන්න වුවමනාවක් නෑනේ.”
කසුන් සොහොයුරා වළකමින් කියන්නට විය. එනමුදු කසුන්ගේ වචන නොතකා කමතේ අවට ඔහුගේ විදුලි පන්දම් එළිය දැල්වුණේය. කුඩා මඩුවක නවතා ඇති කරත්ත දෙකක් මුලින් පෙනිණි. එහෙත් තවත් ටිකක් ළං වෙද්දී නිලාන්ගේ හදවතට එක්වරම විදුලි පහරක් වැදුණා වැනි හැඟීමක් ඇති විය. ඔහු නැවතද විදුලි පන්දම දල්වාගෙන හොඳින් එදෙස බැලුවේය. කරත්තයට යටින් පෙනුණේ කාගේ හෝ අතක් වැන්නකි. ඔහු කරත්තය ළඟට හොඳින්ම ළං වුණේය. නිලාන් හීනෙකින්වත් දකින්නට නොපැතූ අවාසනාවන්තම දසුනක් ඒ මොහොතේ පෙනිණි.
“කසුන් අයියේ…”
කිසිදු ඇඳුමක් ඇඟ නැතුව කරත්තය යට වැටී සිටින චූටි අක්කා දුටු නිලාන් කෑ ගැසුවේය. කසුන්ද වහා එතැනට දිව ආවේය. පැය ගණනක් සෙවූ ආදරවන්තිය සිටි අයුරු දුටු කසුන්ගේ ලෝකය උඩුයටිකුරු වුණේය. ඇයට දී තිබූ කුරීරු වද හංසා එක් බැල්මකට හසු වුණේය. ඇගේ සිරුර ළඟ දණ ගසාගත් කසුන් නිශාදිගේ හිස ඇකයට ගෙන කතා කළේය. වෙනදා උණුසුමට දැනුණු ඇයගේ සිරුර ගල් වී කෙසෙල් කඳක් මෙන් සීතලව ගොසිනි. දෑස් ඇරී තිබිණි. සියල්ල අවසාන වී ඇති වග තවත් තත්පරයකින් කසුන්ට දැනුණේය. ඔවුන් දෙදෙනා ඇඳි සිටි කමිස ගලවා නිශාදිගේ නිරුවත් සිරුර වසා දැමූහ. තවත් මොහොතකින් නිශාදි සොයමින් සිටි පිරිස ද එතැනට එක්වූහ.
උදෑසන වැඩට ගිය දියණිය ගෙදර පැමිණෙන තුරු අන්තිම තත්පරයෙත් බලාපොරොත්තුවෙන් මග බලාගෙන සිටි අම්මාට අවසානයේ ලැබුණේ ඇයගේ ප්‍රාණය අහිමි වී ගිය සිරුරයි. ගෙදරට පහනක්ව එළිය දුන් ගමට කුසුමක්ව සුවඳ දුන්, නුදුරු දිනයක ආදරවන්තයාගේ අතගෙන පතිකුලයට යන්නට පෙරුම් පිරූ අහිංසකාවියකව සිටි විසිහය වියැති ස්ටීවන් කෝරාළලාගේ දොන් නිශාදි බුද්ධිකා මිය ගොස් තිබුණේ ද කාමාතුර යක්ෂයින්ගේ කුරිරු වද හිංසාවලට ලක් වීමෙනි.
“මගේ දුවට මෙහෙම දෙයක් වෙලා ඇති කියලා මට හීනෙකින්වත් හිතුණේ නෑ. අනේ, ක්ලාන්තයක් හැදිලා වැටිලා හරි ජීවතුන් අතර ඇති කියලමයි ඒ වැස්සේ අපි හෙව්වේ.”
වසර විසි හයක් තිස්සේ ආදරයෙන් රැකබලා ගත් දියණියට සිදු වී ඇති අපරාධය ඒ අම්මාට තවමත් උසුලා ගත නොහැක.
“මම අවුරුදු 24ක් මේ රටේ මිනිස්සුන්ට මගේ ජීවිතයත් නොතකා සේවය කළා. ඒත් ඒ මිනිස්සු මට සලකපු හැටිද මේ..?”
කෑගසා හඬන්නට නොහැකි මුත් තාත්තාගේ නෙතින් දියවී යන්නේත් චූටි නෝනාට අත් වූ ඉරණමේ දරාගත නොහැකි දුකයි.
“එයා දේවතාවියක්. මට සැලකුවේ දෙවියෙකුට වගේ. මට ආදරය කරපු විදිහට එයාට කවදාවත් මාව දාලා යන්න බෑ. මිනිස්සු මේ තරම් කුරිරු විදිහට එයාව මගෙන් උදුරා ගත්තේ ඇයි?”
ඇය වෙන්ව ගියාය යැයි තවමත් සිතා ගත නොහැකිව ‘කසුන්’ සිටින්නේ පියවි සිහියකින් නොවේ.
ඔවුනගේ හදවත්වලින් මේ දුක දිනෙන් දෙකෙන්වත් මාසයෙන් දෙකෙන්වත් අවුරුද්දකින් දෙකකින්වත් නැති වන්නේ නැත. එය මුළු ජීවිත කාලයටම දුකක් වී හිත්වල රැඳී තිබෙනු ඇත. එනමුත් මේ අපරාධය කළවුන්ට නම් එය මොහොතකින් අමතක කරන්නට හැකිවනු ඇත.