මට සේවාව කරන මීසමේ නව යොවුන් වියේ සිටින දරු දැරියන් සඳහා ජීවිත අවබෝධතා වැඩසටහන් කිරීම ඉලක්ක කරගෙන යොවුන් කඳවුරක් පැවැත්වෙන බැවින් එයට සහභාගි වන්නැයි ආරාධනා කළෙමි. මා සති දෙකකට පෙර සිටම ඉරිදා පූජාවල් ඔප්පු කරන අවස්ථාවලදී මෙම වැඩසටහන ගැන දරුවන්ට සහ දෙමාපියන්ට මතක් කළේ කෙසේ හෝ දරුවන්ව මෙයට යොමු කරවා ගැනීමේ අවශ්‍යතාව නිසාය.
වැඩසටහන පවත්වන දවසේ ළමුන් සෑහෙන පිරිසක් සහභාගි විය. ඒත් මට තේරුම් ගියේ තවත් ළමුන් ගෙවල්වල රැඳී ඇත යන්නය. වැඩසටහන ආරම්භ කර එය මෙහෙයවන කණ්ඩායම් හඳුන්වා දී මා මගේ යතුරු පැදියෙන් නොපැමිණි ළමුන්ව සොයා ඔවුන්ගේ නිවෙස්වලට ගියේය. ඒ යන අතර එක් පිරිමි ළමයෙක් හමු විය.
“ඇයි දරුවෝ අද වැඩසටහනට ආවේ නැත්තේ?” මා ඔහුගෙන් ඇසීමි. මාව මහත් සතුටට පත් කරන එමෙන්ම මවිත කරවන පිළිතුරක් දරුවා මට ලබා දුනි. ඔහුට යමක් අහිමි වූ වග හැඟෙන ගතියක් ඔහුගේ මුහුණින් මතු වන්නට විය. ඔහු කරබාගෙන මට දුන්න පිළිතුර වූයේ, “ෆාදර් ඊයේ රෑ වීඩියෝ ෆිල්ම් එකක් බැලුවා. හුඟාක් රෑ වුණා. ඉතිං උදේ නින්ද ගියා.” ඉතිං උදේ 8 විතර වෙනකම්ම නින්ද ගියා ද, කියලා මට ඉබේම ඇසිණි. “ඔව් ෆාදර්.” ඔහුගේ පිළිතුර විය. මාව සතුටට පත් කරන පිළිතුරක් මට ලැබුණා කියා මා සටහන් කළේ මේ දරුවා බොරුවක් නොකියා ඇත්ත කීම නිසාය. මා මවිතයට පත් වූයේ මේ ළමයා එළිවෙනකම් වීඩියෝ ෆිල්ම් බලන විට දෙමාපියෝ කොහේද යන ප්රශ්නය මට තදින්ම වැදුණු නිසාය. දෙමාපියෝ නොඅනුමානයෙන්ම නිදා ගන්නට ඇති කියා මට සිතුණි.
මිනිස් ජීවිතය සැප පහසු කරන්නට සාර්ථක කර ගන්නට ලෝකයේ අද තරම් පහසුකම් ඇති අවධියක් මිනිස් ඉතිහාසයේ නොතිබූ තරම්ය. විද්‍යාත්මක නිපැයුම්, සන්නිවේදන මෙවලම්, මිනිස් සිරුරට අවශ්‍ය බෙහෙත් ඇතුළත් වෛද්‍ය පහසුකම්, නව නිපැයුම් සඳහා පහසුකම් අද ලෝකයේ මිනිසා සඳහා බහුලව ඇත. තවත් විදියකින් පවසනවා නම් අද මිනිසාට හොඳ නරක, ගුණ අගුණ සෑම දෙයක්ම මිනිසාගේ ලෝකයේ ඇත. මිනිසාගේ ලෝකය ඒ තරම්ම සරු සාරය. පලබරය.
ඒ හෙයින් මිනිසාගේ ජීවිතය ජීවත් කරවන්නට ඒ ජීවිතය සාර්ථක කර ගන්නට තරම් මේ සරුසාර ලෝකය තුළ තමාට හරි දේ, තමාට වඩාත් ගැළපෙන දේ තෝරා ගැනීමට සිදු වේ. ඒ තෝරා ගැනීම මත තම ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතී.
මා මුලින්ම සඳහන් කළ මා අත්දැක්ක ඒ සිදුවීම තුළ ජීවත් වූ දරුවාගේ තෝරා ගැනීමේ හැකියාව දෙස ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ළමයාට යම්කිසි තෝරා ගැනීමක් කිරීමට තිබුණි. වීඩියෝ චිත්‍රපටය බලා උදේ ප්‍රමාද වී නිදාගෙන ළමා කඳවුර මග හැරීම, එසේත් නැතිනම් රාත්‍රියේ වේලාසනින් හොඳට නිදාගෙන උදෙන්ම අවදි වී ළමා කඳවුරට ගොස් ජීවිතයට හොඳ දෙයක් ලබාගෙන ජීවිතය ශක්තිමත්ව ගොඩ නගා ගැනීමය. මේ දෙකෙන් කැමැති දෙයක් තෝරා ගැනීමට ළමයාට නිදහස හා අවකාශ තිබුණා. ළමයාගේ පසුබිම ඔහුගේ ජීවිතය ලබා තිබුණු අධ්‍යාපනය හා උරුම කරගෙන තිබුණු සාරධර්ම දෙමාපියන්ගේ මග පෙන්වීම් මේ හැම දෙයක් සමගින්ම ඔහු තෝරා ගත්තේ වීඩියෝ චිත්‍රපටය නරඹා කෙටි ආස්වාදයක් ලබා නිදා ගැනීමය.
තම ජීවිතය ගොඩ නගන්නට තබා තිබූ ඉණිමගේ පඩි නගින්නට ළමා කඳවුර ප්‍රයෝජනයට ගැනීමට අකැමැති වී මෙවැනි වැරදි තෝරා ගැනීම් නිසා ලෝකය කොයි තරම් සරුසාර වුවත් ජීවිත නිස්සාර වීම පුදුමයක් නොවේ. මෙය එක්තරා කුඩා සිදුවීමක් විය හැක. එනමුත් අද මිනිස් ජීවිතවල මෙවැනි සිදුවීම් බහුලය.
අද මිනිසාට ඇති ලොකුම ගැටලුව දිළිඳුකම, අසනීප, යුදබිය මෙවැනි සිදුවීම් නොව තමාගේ ජීවිතය ප්‍රමුඛතා ලැයිස්තුව පෙළ ගැස්වීමයි. මම කුමක්ද මගේ ජීවිතයට තෝරා ගත යුත්තේ? ඒ මතයි ඔහුගේ ජීවිතයේ සාර්ථක අසාර්ථක බව රැඳී ඇත්තේ.
සමහර පවුල් තමන්ට දරන්නට බැරි ණය බරෙන් මිරිකී වේදනා විඳියි. පවුල් විරසක වෙන තත්ත්වයට පත් වෙයි. හේතුව කුමක්ද කියා බලන කළ තමන්ට ඔරොත්තු නොදෙන දේවල් තමන්ගේ පවුලට තෝරාගෙන ඒ බරින් මිරිකී ජීවිත ඉරිතලා ගොසින්ය.
ජේසුස් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් සමග ගමන් කරන කල එක්තරා නිවසකට වැඩිය විට එම නිවසේ සිටි මාර්තා නම් එක් ස්ත්‍රියක සිය නිවසට උන්වහන්සේව පිළිගත්තාය. ඇයට මරියා නම් සහෝදරියක් වූවාය. ඈ ස්වාමීන් වහන්සේ පා මුල හිඳ උන්වහන්සේගේ ඉගැන්වීමට සවන් දුන්නාය. එහෙත් මාර්තා සත්කාර කටයුතු වැඩි වීමෙන් කරදර වී සිටියාය. ඈ උන්වහන්සේ වෙතට පැමිණ “ස්වාමීනි, මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කටයුතු මා පිටම පවරා සිටින සැටි ඔබ සලකන්නේ නැද්ද?” එබැවින් මට උදව් කරන්නට ඈට කිව මැනවයි කීවාය. එහෙත් ස්වාමීන් වහන්සේ උත්තර දෙමින්, “මාර්තා ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නලංගු වන්නෙහිය. එහෙත් අවශ්‍යය එක දෙයකි. මරියා වඩා යහපත් දෙය තෝරාගෙන ඇත. ඈ කෙරෙන් එය පැහැර ගනු නොලැබේයැයි“ වදාළ සේක. (ලූක් 10:28:42)
සෑම මනුෂ්‍යයෙක්ම තමන්ගේ ජීවිතයේ අවශ්‍යතාවන් පෙළ ගස්සාගෙන ඒ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට යම් යම් දේ තෝරා ගනී. ජේසුස් ස්වාමීන් වහන්සේ ඉදිරියේ සිටි ඒ අක්ක නගෝ දෙදෙනා ද ඔවුන්ගේ ජීවිතයේ තෝරා ගැනීම් කළෝ එක් කෙනෙක් ජේසුස් ස්වාමීන් වහන්සේගේ ධර්මය ඉගෙන ගනිමින් උන්වහන්සේගේ පාමුල වැටී දෙවියන්ට කිට්ටුවෙන් සිටීම තෝරා ගත්හ. අනිත් කෙනා කුස්සියේ සංග්‍රහ කටයුතු ගැන කරදර වෙමින් සිටියහ. ඇය තෝරා ගත්තේ උන්වහන්සේට සංග්‍රහ කිරීමය. ජේසුස් වහන්සේ කීවේ සංග්‍රහ කටයුතුත් වටිනා නමුත් වඩාත් වටිනා දෙය මරියා නමැති සොහොයුරිය තෝරාගත් වගය.
මිනිස් ජීවිතයේ කාලයෙන් කාලයට විවිධාකාර විදිහේ අවශ්‍යතාවන් මතු විය හැක. ඒ අවශ්‍යතාවන් සපුරාලන්නට මිනිස් ඥානය මෙහෙයවා නිපැයුම් බිහි කරයි. සෑම මිනිසෙක්ම අසම සම හෙයින්ම ඔවුන්ගේ අවශ්‍යතාවන් විවිධාකාර වූවත්, ඒ හැම අවශ්‍යතාවක්ම සපුරා ගැනීමට අවශ්‍ය විවිධ දෑ බිහිවීම නිසාම ලෝකය දියුණු වී ඇත. සරු සාරවී ඇතැයි කෙනෙකුට කිව හැක. මෙන්න මේ සරු සාර පල බර ලෝකයේ ජීවත් වන මිනිසා ඔහුගේ වුවමනාවේ හැටියට ඔහුගේ සැබෑ යථාර්ථයට එකඟ වෙන අයුරින් තම ජීවිතයේ අවශ්‍යතාවන් තෝරා ගැනීමක් කර ගැනීමට තරම් නැණවත් වුවහොත් ජීවිතය සාර්ථක කරගත හැක.
අද තිබෙන ප්‍රවණතාව අවශ්‍යතාවන් සඳහා නිපැයුම් කිරීමට වඩා මිනිසාගේ අවශ්‍යතාවන් නිර්මාණය කිරීමය. මිනිස් ජීවිතයේ එක් එක් වයස් කාණ්ඩ අනුව අවශ්‍යතාවන් මතු කර එය සපුරා ගැනීමට නිපැයුම් වෙළෙඳ පොළේ ප්‍රදර්ශනය කිරීම තුළ මිනිසාට මිනිසාව ග්‍රහණය කර ගැනීමේ බලවේගයක් ඉතාමත් ප්රබලව ක්‍රියාකාරී වේ. උදාහරණයක් ලෙස මෙන්න මෙලෙස මතක් කර දෙන්න කැමැත්තෙමි. අතේ ගෙන ගිය හැකි සෙලියුලර් දුරකථන, මෙය අද අපේ තරුණ තරුණියන්ට හඳුන්වා දී ඇත්තේ මෙය තාරුණ්‍යයට නැතිවම බැරි අවශ්‍යතාවක් ලෙසිනි. මේ හෙයින් අද ලංකා සමාජයේ තරුණ තරුණියන් කී දාහක් ණය වී හරි එවැන්නක් තෝරාගෙන ජීවිත කරදරවලට පත් කරගෙන ඇද්ද? ණය