Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වටාපතින් දිවි රකින ගලතර ගැමියෝ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වටාපතක් අත නොමැතිව මේ රටේ බණකට, දානයකට, පිරිතකට වඩින හිමි නමක් දැකිය නොහැකි තරම්ය. ඒ තරමටම වටාපත අපේ මහ සඟරුවනට සමීපය.මේ වටාපතේ උපත සිදුවන්නේ කොහිදැයි බොහෝ දෙනා තවමත් නොදනිති. මෙරටේ හතර දිග්භාගෙම වැඩ වාසය කරන මහා සංඝයා වහන්සේලා ගේ පරිහරණයට වටාපත නිමැවෙන්නේ එකම ගම්මානයකිනි. ඒ ගම නම් අලව්වේ, ගලතරය.මේ ගලතර ගම්මානය පුරාම තල ගස් එමටය. වටාපත් නිර්මාණය සඳහා උපයෝගි කරගනුයේ තල ගසේ කොළය. පුස්කොළ ‍පොත් සඳහා භාවිත කරනුයේ ද ඒවාමය.

තල ගස වටා විවිධ ජනකවි ද නිර්මාණය වී ඇත. පහතින් දක්වන්නේ එයින් කවියකි.

අත්ත සොඳයි ‍පොද වැස්සට ඉහළන්ඩ
පිත්ත සොඳයි තද වර මදු අඹරන්න
ගොබේ සොඳයි දස ධර්මය ලියවන්ඩ
මේ මල සොඳයි බුදු මඟුලට ගෙනියන්ඩ

මේ ජනකවියෙන් කියැවෙන්නේ දුරාතීතය ගැනය. එහෙත් තල ගස අද ජන දිවියට නම් අතවශ්‍ය අංගයක් නොවේ.
පුස්කොළ උපත පවසන්නේ සක් දෙවිඳුන් නඳුන් උයනෙන් ගෙනා තල බිජ සතර වපු‍ලේ සත් කෝරළයේ ගලතර ගම්මානයේ බවය.
ඓතිහාසික පුරා වෘත්තයන් රැසකට උරුමකම් කියන ගලතර ගම්මානයේ ඇති තතු සොයන්නට එහි ගිය අපට මුලින්ම හමු වූයේ පාරම්පරික වටාපත් නිර්මාණකරුවකු වන මාපා හාමිල්ලාගේ ගුණතිලක මහතාය.

ගුණතිලක මහතා අප හා සල්ලාපයට ආවේ ගලතර ගම්මානය හා ඈඳුණු වටාපත් කර්මාන්තයේ ඉතිහාසයද ගෙන හැර පාමින්ය.
“වලගම්බා රජතුමාගෙ කාලෙ මාත‍ලේ අළු විහාරෙ පවත්වාපු ධර්ම සංගායනාව ග්‍රන්ථාරූඪ කරන්න තල කොළ ගෙනිච්චෙ ගලතරින් කියල තමයි කියන්නෙ”

“මේ සංගායනාවට ඕනෑ කරන තල ගස් අපේ ගමේ වගා කරල ඒව රැකබලාගෙන හොඳින් වැඩුනට පස්සෙ තල ගොබ කපාගෙන මාත‍ලේට ගෙනිච්ච කියල තමයි අපේ මුතුන් මිත්තො කිව්වේ”

මේ සඳහා රාජානුග්‍රහයද නො අඩුව ලැබි තිබේ. රජය සතු ඉඩමක “මැඩිල්ල” නම් රාජකීය තල උයනක් පිහිටුවා ඇත. එය අදත් දක්නට ලැබේ. තල ගහ මඩුව නමින් මේ ස්ථානය ප්‍රකටය. මුල් ම ලංකා සිතියම මැනීමේදී එය රජය සතු ඉඩමක් වශයෙන් වෙන්කර තිබේ.
තල උයනට ආසන්නව තල කොළ තම්බා වියලා ගත් “තලපත් ගල” නම් විශාල ගල්තලාවක් දක්නට ලැබේ. ගැමියන් අදටත් තල කොළ වියලා ගන්නේ ඒ ගල් තලාව මතයි.

වටාපත් කර්මාන්තයේ ඉතිහාසය විස්තර කළ මාපාහාමිල්ලාගේ ගුණතිලක මහතා වටා පතක් තනාගන්නා ආකාරය ද මෙසේ පැහැදිලි කළේය.
“වටාපත් තැනීමේදී මුලින්ම කරන්නෙ කුඩා තල ගොබ කපලා දිග අරිනවා. ඉන් පස්සෙ බිලිං කොළ, කැප්පිටිය කොළ, ගස් ලබු කොළ, ලොකු හැලියක දමලා තල කොළත් ඒකට දාලා තම්බනවා.
“දවසක් පමණ මේ ආකාරයට තම්බලා තලපත් ගල මත දිග ඇරලා වේලනවා. තල කොළ දිග ඇරලා ගල් තියලා වේලන්න ඕනෑ. නැතිනම් තල් කොළ හැකිලෙනවා. විවිධ කොළ වර්ග දමලා තම්බන්නෙ තල කොළේ තියෙන කහට ඉවත් කරලා තල කොළය සුදු පැහැ ගන්වන්න.
“වේලපු තල ගොබේ පිත්තෙ දමලා දිග හැරලා වටාපත් අච්චුවකට අනුව කපා ගන්නවා. වටාපතේ හැඩේට කපපු තල අත්ත වටේ ම තල ඉරටු තියලා මහනවා.
“ඉස්සර අපි තල ඉරටුව පලලා සායම් කරලා තල කොළවලින් බෝඩරය තියලා නූල්වලින් මැහුවා. දැන් තල ඉරටුවට වූල් ඔතලා ගන්නවා. වටාපතේ වටේ බෝඩරේට මහ තල ගස්වල ගොබ අරන් කපල ගන්නවා”
“වටාපතේ මිට හදන්න ගන්නෙ ඇට්ටෝනියා, තේක්ක හා හල්මිල්ල වැනි ලී වර්ග. ඒවා මැෂිමෙන් ලියවල අලංකාර කරල ‍පොලිෂ් කරල තල කොළවලින් හැදු වටාපතට අල්ලනවා.”
සේසත්, අවාන්, පැදුරු, මාගල්, මලු, බෑග්, හැඳි ආන, ටේබල් මැට්, මේස සැරසිලි, කේක් පෙට්ටි, ලාම්පු අවරණ හා වෙසක්පත් ද නිර්මාණය කෙරේ. මේ නිර්මාණය ජාත්‍යන්තර වෙළෙඳ‍පොළට පවා ඉදිරිපත් කිරීමට හැකි පරිදි මනාව නිමවා තිබේ.

නමුත් මේ නිර්මාණකරුවන්ට නිසි වෙළෙඳ‍පොළක් නොමැතිවීම ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ම ගැටලුවයි.

මේ ගැන අදහස් දැක්වූයේ ගලතර පදිංචි ලියන ආරච්චිගේ රංමැණිකේ මහත්මියයි. ඇය විශ්‍රාමික හස්ත කර්මාන්ත පාලිකාවකි. 2002 වසරේදී ඇය හස්ත කර්මාන්ත සඳහා කලා භූෂණ සම්මානයෙන් ද පිදුම් ලබා ඇත. 1986 වර්ෂයේ බංග්ලාදේශයේ පැවති හස්ත කර්මාන්ත වැඩමුළුවකටද සහභාගී වී සිටින්නීය.

ඒ වකවානුවේ ගමේ ළමයින් දහදෙනකු පහළොස් දෙනකු එකතු කර ගෙන නිෂ්පාදනය කළ වටාපත් වලින් රුපියල් ලක්ෂයකට අධික ආදායමක් උපයා තිබුණි. වර්තමානයේ එතරම් ආදායමක් ලැබිමට හැකියාවක් නොමැති බව රංමැණිකේ මහත්මිය පවසන්නීය.
“වටාපත් සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළයි. තල ගොබ ගන්නෙත් මුදලට.
“‍පොලිෂ්, වාර්නිෂ්, ඇණ, ඩයි, මේ දේවලුත් ගණන් ගිහිං. ගමේ වැඩිදෙනෙක් මේ කර්මාන්තයට යොමු වෙලා. තරගකාරිත්වය නිසා මිලත් බහිනවා.
අපි කොයි තරම් මහන්සි වුණත් අලෙවියට නිසි වෙළෙඳ‍පොළක් නැහැ.
“වයඹ ජන කලා කේන්ද්‍රය, ලක්සල වැනි ආයතන සාධාරණ මිලකට අපෙන් වටාපත් මිලදී ගන්නවා නම් ඒ ඉල්ලුම සපයන්න අපට පුළුවන්.”

මීළඟට අපට හමු වූයේ ඩබ්ලිව්. ඒ. සෝමලතා මහත්මියයි.

“රජයෙන් නිසි රැකවරණයක් වටාපත් කර්මාන්තකරුවන්ට හිමි විය යුතුයි. කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය මේ ශිල්පීන්ට යොමු විය යුතුයි. ඒ වගේ ම වයඹ පළාත් සභාව “ගලතරය වටාපත් ගම්මානයක් ලෙස නම් කර අවශ්‍ය නිෂ්පාදන හා අලෙවි පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙනවා.”
“නැතිනම් මේ පෞරාණික කර්මාන්තයට කණ කොකා හඬාවි. එහෙම වුණොත් ගමේ පන්සලට අවශ්‍ය වටාපත් පිටරටින් ගෙන්වන්න වේවි.”
සෝමලතා මහත්මියගේ අදහස්වල ගැබ් ව ඇත්තේ අනතුරු හැඟවීමකි. මේ වටිනා කර්මාන්තය රැක ගැනීමේ අවශ්‍යතාව තදින් ම දැනෙන බව නම් නොරහසකි.

Scroll to Top