ශ්‍රී ලංකාව පෞඪ ඉතිහාසයකට හිමිකම් කියන ලෝකයේ සුන්දරම රටක්. ස්වාභාවික සෞන්දර්ය අතින් මෙන්ම ඉපැරණි ඉතිහාසයකින් ද ශ්‍රී ලංකාව පොහොසත් ය. අපේ රටේ ඉතිහාසය හරිහැටියට ඉගෙන ගැනීමට, දැන ගැනීමට රටේ පුරවැසියන් වශයෙන් අපට අයිතියක් ඇත. රටක ඉතිහාසය දැන ගැනීමට ඇති ප්‍රබල පිටිවහලකි, ඒ පිළිබඳව ලියැවුණු පොත පත පරිශීලනය කිරීම.අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය මුඛ පරම්පරාවෙන්, පරම්පරාවට කාලාන්තරයක් සුරැකෙමින් විත් එක් යුගයකදී එය ග්‍රන්ථාරූඪ කිරීම වූ කලි ලක් ඉතිහාසයේ සුවිශේෂි සිද්ධියක්.
අපි පාසලේ දී, දහම් පාසලේ දී මේ ඓතිහාසික සිද්ධිය පිළිබඳ බොහෝ කරුණු ඉගෙන ගත්තෙමු. සාමාන්‍ය දැනුම, දහම් දැනුම මිනුම වැනි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්වල දී, “ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ කුමන රජ සමයේ කොහේදී දැයි” අපෙන් ඇසූ විට අප පිළිතුරු දුන්නේ, “වළගම්බා රජ දවස මාතලේ අළු විහාරයේදී” යනුවෙනි. අද ද එය එලෙසම ය. නමුත් මෑතක දී පිටවූ ඉතා වැදගත් කෘතියක් සමග ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ස්ථානය පිළිබඳ යළිත් සිතන්නට අවස්ථාවක් උදා විය. ඒ විශ්‍රාමික අධ්‍යාපන නිලධාරියකු හා හිටපු විදුහල්පතිවරයකු වු ජී. ආර්. ගුණවර්ධන බණ්ඩා මහතා විසින් ලියූ “මාතලේ අලුවිහාරයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ නොකළ වගයි…” යන කෘතියත් සමගය.
එහිදී කතුවරයා පුරාවිද්‍යාත්මක ඓතිහාසික හා සාහිත්‍යමය මූලාශ්‍ර ඇසුරින් සාධක 28 ක් විමර්ශනය කරමින්, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මාතලේ අළු විහාරයේ දී නොව, කෑගල්ලට නුදුරු අත්තනගොඩ “අළුලෙන” නම් ස්ථානයක දී සිදුකර ඇති බව ඇති බව පෙන්වා දී ඇත. ඔහුගේ තර්ක කිරීම් අනුව මෙකී කරුණු සත්‍ය බවට කෘතිය කියවන කවරකුට වුව ද වැටහේ. එහි එක් කරුණක් ලෙස 500 ක් බෞද්ධ භික්ෂූන්ට ඒකරාශි වී සංඝායනා කිරීමට මාතලේ අළු විහාර ප්‍රදේශ භූමිය ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා කෑගල්ලේ අළුලෙන නම් ප්‍රදේශය ස්වාභාවික පරිසරයට අනුව මෙන්ම ඉඩ පහසුකම් අනුව ද අතිශය යෝග්‍ය බව අවධාරණයෙන් සඳහන් කර ඇත. මා මේ ලිපියෙන් අදහස් කරන්නේ උක්ත කතුවරයා හෝ ඔහුගේ කෘතිය පිළිබඳ වර්ණනා කිරීමට නොව සත්‍ය කරුණු දැන ගැනීමට ඇති උවමනාව නිසා බව පාඨක ඔබ වටහා ගත යුතු මනාය.
ලංකා විශ්වවිද්‍යාලයේ “ලංකා ඉතිහාසය” නමැති ග්‍රන්ථයෙහි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පළ කළ, “මාතලේ දිස්ත්‍රික්කයේ අලුවිහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪය සිදු කළ බවට පසුකාලීන මත ඉදිරිපත් වී ඇති නමුත් පුරාතන ලේඛනවලින් එබඳු කාර්යයක් මාතලේ අළු විහාරයේදී සිදු වූ බවක් ප්‍රකාශ නොවේ” යන ප්‍රකාශය ද ගුණවර්ධන බණ්ඩා මහතා ස්වකීය කරුණු සනාථ කිරීමට ඉවහල් කරගෙන ඇති බව මා කලින් කී කෘතියට හැඳින්වීම සැපයු කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නන්දසේන මුදියන්සේ මහතා විසින් ද සඳහන් කර ඇත.
රටක ඉතිහාසය නිවැරදිව දැන ගැනීමට එරට වැසියනට අයිතියක් ඇත. විශේෂයෙන් මෙවන් වූ අති විශිෂ්ට සිදුවීමක සත්‍යය දැන ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍යමය. එබැවින් මේ ගැටලුව වියත් මඬුල්ලක් විසින් නිරාකරණය කිරීම කළ යුතු බව මගේ හැඟීමයි.
පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ පිළිතුර
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මාතලේ අළු විහාරයේ දී සිදු කළා කියන එකයි ප්‍රධාන අදහස. නමුත් තවත් අදහසක් තියෙනවා. කෑගල්ලට නුදුරු අත්තනගොඩ අළුලෙන නම් ස්ථානයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ බවට.
අළුලෙන කියන වචනය පාවිච්චි කරන්නේ ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානවලටයි. ඒකට හේතුව ඒ කාලේ ලෙන්වල මානවයෝ පදිංචි වෙලා හිටියා. කාලයක් තිස්සේ මානවයා පදිංචිවෙලා ඉන්නකොට අවුරුදු දස දහස් ගණනක් ගින්දර පත්තු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට විශාල අළු තට්ටුවක් ඇති වෙනවා. ඒවා අළුලෙන් වශයෙන් හඳුන්වනවා. මෙහිදී අළුලෙන් යන වචනය යෙදුන පමණින්ම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සමාන කරන එක වැරදියි. අළුලෙන පාවිච්චි කරන කෑගල්ල, මාතලේ වගේම මී මුරේ, බුත්තල වගේ ස්ථානත් තියෙනවා.
මාතලේ අළුලෙන වටේ ගල් ලෙන් කීපයක් තියෙනවා. ඒවා කටාරම් කොටපු ගල්ලෙන්. ක්‍රි. පූ. 2 වැනි සියවසයි, ක්‍රි. ව. 1 සියවසයි අතර සිද්ධ වූ මේ සිද්ධියට සමගාමීව අළුවිහාරේ ලෙන් ලිපි තියෙනවා. ඓතිහාසික කාලේ මාතලේ අළුවිහාරේ සංඝාවාසයක් හැටියට පාවිච්චි වුණා කියලා සාක්ෂි තියෙනවා. කෑගල්ල අළු ලෙනේ ඒ තරම් ප්‍රබල සාක්කි නෑ. ඒ වගේම මාතලේ අළු විහාරේ මේ සිද්ධිය සිදුවුණා කියලා තියෙන සාක්ෂි ප්‍රමාණවත් කියලා කියන්නෙත් නෑ.