තාම ඉස්කෝලෙ පටන් අරගෙන දවස් තුනයි. 6 පන්තියේ රත්නායකට හොඳටම බණින්න හිතුනා. පන්තියෙ ඉන්න දක්ෂම, කීකරුම ළමයා හිතාගන්න බැරිතරමේ අකීකරුකමක් කළාම නොබැණ ඉන්න හිතේවිද? රත්නායක සටහන් පොතේ සටහන් ලියපු කොළ ඉරලා.
“මොකක්ද ළමයා මේ කරපු දේ? ඇයි එහෙම කළේ?”උත්තර නෑ. රත්නායක බිම බලාගෙන ඇඟිල්ලෙන් සිමෙන්ති පොළොවෙ වළක් හාරන්න හදනවා. මගේ හිත ඇතුළට සර්පයෙක් වගේ තරහ බඩගාගෙන ආවා.
රත්නායක අමුතුයි. වෙනද නැති මුරණ්ඩුකමක් ඇස්වලටත් රිංගගෙන, පොඩිවෙච්ච ඇඳුම, අවුල්වෙච්ච හිසකෙස්, අපිරිසිදු නියපොතු, හැංගිච්ච කතාවක පිටු වගේ මගේ ඇස්වලට එකපාරට පෙනුණා. හිත ළඟ කොටපු විදුලිය නිසා වෙන්න ගිය ලොකු වැරැද්දක් යන්තම් වැළකුනා.
“රත්නායක ගිහින් වාඩිවෙන්න, ඉරල විසි කරපු සටහන ආයෙත් ලියන්න”
මම දැඩි ස්වරයෙන් කිව්වා.
දවස් දෙකකට පස්සේ රත්නායක ඉස්කෝලෙ ආවෙ අද. මම වෙනසක් නැතුව වෙනද විදියට හිටියා. හරියට වෙච්ච සිද්ධිය අමතකවෙලා වගේ.
අද උදේ ඉස්කෝලෙ නාගහ ළඟින් යද්දී රත්නායක එකපාරට කොහෙන්ද මතුවෙලා මගේ ළඟ නැවතුණා.
“රත්නායක වෙනස්වෙලා, වෙලා තියෙන දේ කියන්න තරම් මාව විශ්වාස නැද්ද? දරුවෝ” මම එකපාරම කිව්වා.
“මල්ලිව ආපහු ගෙදර ගෙනල්ලා” රත්නායක එක පාරට කිව්වා
“ඉතින්”
“ඉතින් මම එයාව බලා ගන්නවා, ඉස්කෝලෙ එන්න බැරි වුණෙත් ඒකයි.”
“ඇයි අම්මා”
“අම්මා අසනීපෙන්”
“මොකක්ද දරුවො අසනීපෙ?”
උත්තර වෙනුවට ලොකු කඳුළු කැට දෙකක් ළමයගේ ඇස්වලින් එළියට පැන්නා. මම කතාව නතර කළා.
“කමක් නෑ, පුළුවන් වෙලාවට ඉස්කෝලෙ ඇවිත් වැඩටික කරගන්නකො”
ළමයගෙ හිස අතගාමින් මම කිව්වා.
මෙච්චර දවසක් ආච්චි අම්මා ළඟ හිටපු මල්ලිව රත්නායකගෙ තාත්තා ආපහු ගෙදර ගෙනැත්. මල්ලිගෙ වයස අවුරුද්දයි. පස්සෙ දවසක රත්නායක මට කිව්වෙ එහෙමයි. තාත්තා මේසන් වැඩට යනකොට අම්මා අසනීපෙන් නිසා මල්ලිව බලා ගන්නෙ රත්නායකලු. ඒත් අම්මගෙ අසනීපෙ මොකක්ද කියල නම් රත්නායක තාමත් මට කිව්වේ නෑ.
ඉස්කෝලේ ගේට්ටුවෙන් මම ඇතුල් වෙනකොටම රත්නායක කළබලයෙන් මගේ ඉස්සරහට දුවගෙන ආවා.
“මිස්ට කියල යන්නයි ආවේ, අම්මව ඉස්පිරිතාලෙට ඇතුල් කළානෙ. මම ආපහු ගෙදර යනවා”
ළමයා කිව්වේ වෙව්ලන කටහඬකින්.
“අම්මට හුඟක් අමාරුද?”
“එයාට ළමයෙක් හම්බවුණා”
ඇස්වල කඳුළු තදකරගෙන රත්නායක නොරුස්සන කටහඬකින් කිව්වා. වයස අවු. 10 ක ළමයෙක් පොත් මල්ලක් එක උරහිසක දාගෙන අවුරුද්දක් වයස ළමයෙක්ව කර පින්නගෙන ඉස්පිරිතාල ගේට්ටුවෙන් අත දරුවෙක් අරන් එළියට එන ගැහැනියක් දිහා බලාගෙන ඉන්න හැටි මැවී පෙනුණා.
කව්රු මොනව කිව්වත් කවුරු කොහොම හිතුවත් අපේ රටේ ළමයින්ට තියෙන සැලකිල්ල නම් හොඳ මදියි. හැම වරප්‍රසාදයක්ම අයිති වෙන්නෙ එක කොටසකට විතරයි. රත්නායකල වගේ ළමයින්ට ඉස්කෝලෙන් කරන්න කිසිම උදව්වක් නැද්ද? “දිවා සුරැකුමක්” ඉස්කෝලෙට අනුබද්ධ කරල හැදුව නම් රත්නායක වගේ ළමයි, මල්ලිල, නංගිල එක්ක ඉස්කෝලෙ ඒවි. තමන්ගෙ ඉගෙනීමෙ වැඩත් කරකියා ගනීවි. සන්තෝසෙන් ඉදිවී. තව කාටහරි රස්සාවලුත් ලැබේවි. හිතාගෙන හිතාගෙන යනකොට මට හිතුනෙ එහෙමයි.
උපමාලිකා හේවගේ