හිරිමල් යෞවනයේ චමත්කාරය තම දූ දරුවන්ගේ ජීවිත වෙත ළං වන සැටි බලන්නට අකැමැති වෙන දෙමාපියන් කොහේ වෙසෙත්ද ? එහෙත් මේ වන විට හිරිමල් යෞවනයේ සිටි මේ යෞවනයා ගේ හෝ ඔහුගේ දෙමාපියන්ගේ ජීවිතයට සුන්දරත්වය ළඟා වූයේ නැත. සම වයසේ සෙසු දරුවන් තම දෙමාපිය සහෝදර සහෝදරියන් සමග කුලුපගව සතොසින් ජීවත් වෙද්දී මේ පුතා හුදකලා වූයේය. විටෙක කෝප ගත්තේය. මවට පරුෂ වචනයෙන් බැණ වැදුණේය.තවත් විටෙක පහර දුන්නේය. බොහෝ අයට නින්දා පරිභව කළේය. මේ බලා සිටි හික්මුණු දෙමපියෝ තම කල දවස ගෙවා දැම්මේ ඉතා කලකිරීමෙනි. මේ කලකිරීම මැකී යන්නට නිවසේ රූප පෙට්ටියේ මැවෙන ටෙලි නාට්‍යයකට නෙත යොමු කළද තම පුතු ගේ හැසිරීම් මතකයෙන් පළවා හැරීම දුෂ්කර කරුණක් විය.
ඒ වෙනුවට ඔහුගේ මව රුපවාහිනියේ විකාශය වන ධර්මය , මානසික සුවය වැනි තේමාවන් ඔස්සේ විකාශය වන වැඩසටහන් වෙත සිත යොමුකළාය. දිනක් මෙසේ එවැනි වැඩසටහනක් නරඹමින් සිටින ඇයට අපූරු අදහසක් පහල විණි. මේ රූපවාහිනියේ දේශනා දෙන මහත්වරුන්ගෙන් මගේ දරුවාව හදා ගන්න කිසියම් උපදෙසක් ගත නොහැකිද? යන්න ඒ අදහසයි.
ඒ අනුව අමාරුවෙන් මෙම රූපවාහිණී ආයතනයේ දුරකථන අංකය සොයා ගත් මේ මව ඊට ඇමතුමක් දුන්නාය. ඇය තම අවශ්‍යතාව වන්නේ ඉතා හිතුවක්කාර හැසිරීම් සහිත තම පුතු පෙන්වන්ට සුදුසු මනෝ විද්‍යාඥයකු නම් කරන ලෙසය. ප්‍රශ්නයට වහා පිළිතුරක් රූපවාහිනි ආයතනයෙන් ලැබිණි.
මේ විද්‍යාඥයාට පෙන්වන්න
අදාළ විද්‍යාඥයාගේ නම සහ දුරකථන අංකයද ලැබිණි. ඔහු මෙරට රූපවාහිනී නාලිකාවල බොහෝ විට වැජඹෙන, මනෝ විද්‍යාත්මක සහ ධර්ම කරුණු නිතර කතා කරන මනෝ වෛද්‍යවරයකු නොවන වෙනත් විද්වතෙකි.
නිතර රූපපෙට්ටියේ දකින මේ ජනප්‍රිය විද්වතා ගෙන් තම පුතු ට ප්‍රතිකාර ගන්නට සැලැස්වීම ගැන අනේක වාරයක් රූපවාහිනියට පින් දුන් මව දුරකථන සංවාදය නිමා කළේ සියල්ල ජයග්‍රහණය කළ ඇත්තියක් මෙනි. කෙසේ වෙතත් රූපවාහිනි ආයතනයෙන් කතා කළේ කවුරුන්ද යන්න, අදාළ විද්වතාගේ සුදුසුකම් මොනවාද යන්න මේ මවට ප්‍රශ්නයක් නොවීය.
මේ විද්‍යාඥයා සම්බන්ධ කර ගත් මව වහා තම පුතු ද ඔහු වෙත ගෙන ගියේය. පුතු සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ මේ විද්වතා රෝග නිධානය හෙළි කර ඇත්තේ මෙසේය.
“මේ ළමයට තියෙන්නේ ගිය ආත්මේ ඉඳන් තිබෙන අම්ම එක්ක වෛරයක් . ඒ නිසා තමයි. නිතරම අම්ම එක්ක රණ්ඩු වෙන්නේ.”
භාවනා ප්‍රතිකාර පන්තියක් සමඟ තවත් වැදගත් ප්‍රතිකාරයක් ද නිර්දේශ කළේය. එනම් පලතුරු වැඩිපුර ආහාරයට ගන්නා ලෙසය. වැඩි වශයෙන් අඹ , පැපොල් වැනි පලතුරු ආහාරයට ගන්නා ලෙස ඔහු නියම කළේය.
දින කිහිපයක්ම ඔහුගෙන් මෙම ප්‍රතිකාරය ගන්නට ගියේය. රූපවාහිනිය ඉදිරියේ කෙළෙස්වලින් බර වීම, මුදල් පිළිබඳ ඇති තෘෂ්ණාව වැනි කරුණු දැඩි සේ හෙළා දකින මේ විද්වතාට එක් වාරයකදී රුපියල් තුන්දහසක් දහසක් පමණ පඬුරු පාක්කුඩම් පුදන්නටද මේ මවට සිදු විය.
එහෙත් කිසිදු සෙතක් ශාන්තියක් හෝ සැනසිල්ලක් මේ දෙමාපියන්ට ළඟා නොවූයේ පුතුගේ දිවි පැවැත්ම සම්බන්ධව කිසිදු සුබදායී සලකුණක් විද්‍යමාන නොවූ නිසාය. අන්තිමේ දී වරක් ඔහු මවට පිහියෙන් අනින්ට තැත් කළේය. මේ බිහිසුණු සිදුවීමෙන් පසුව දෙමාපියන්ට තම හිතවතුන්ගෙන් උපදෙස් ලැබුණේ මනෝ වෛද්‍යවරයකු වෙත පෙන්වන ලෙසය. ඔහු පේරාදෙණිය රෝහලේ මනෝ වෛද්‍ය විශේෂශඥ රනිල් අබේසිංහ වෙත යොමු වූයේ මේ දීර්ඝ වූත් සංකීර්ණ වූත් ක්‍රියාදාමයෙන් අනතුරුවය.
වෛද්‍යවරයාට රෝගියාගේ තත්ත්වය හඳුනා ගැනීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. වහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ඇරඹුණි. රෝගියාගේ තත්ත්වය ද කමෛන් සුව වෙමින් පවතී.
මේ කතාව හුදු පබැඳුමක් නොවේ. මෙරට සේවය කරන මනෝ විශේෂඥ වෛද්‍යවරුන්ට හමු වී ඇති මෙවැනි රෝගීන් ගණන සලකන කළ මෙය ඔවුන්ට සුලු සිදුවීමකි. ජනමාධ්‍ය මහජනතාවට සමීප වීම නිසාම මානසික ප්‍රශ්න හමුවේ මෙවැනි අදූරදර්ශී පියවරයන් වෙත ගොස් අමාරුවේ වැටෙන්නන් ගණන ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ පිළිගැනීමය.
වෛද්‍ය අබේසිංහ හමුවට මීට ටික දිනකට ඉහත දී තවත් තරුණයකු පැමිණ ඇත. මේ තරුණයා සමාජ භීතිකාවෙන් පෙළෙන්නෙකි. සමාජය හමුවට යාම, ප්‍රසිද්ධ සභාවක් ඉදිරියේ කතා කිරීම වැනි දේ කෙරෙහි කුලෑටි බවක් දැක්වූවෙකි. ඉතා කලකිරීමෙන් කාලය ගත කළ ඔහුට පුවත්පතක පළ වූ පෞරුෂ වර්ධනය සම්බන්ධ විශේෂඥයකු පිළිබඳ වෙළෙඳ දැන්වීමක් නෙත ගැටුණේ අහම්බෙන් මෙනි. මේ තරුණයා රුපියල් විසිපන්දහසක් ගෙවා කොළඹ තරු පහේ හෝටලයක තිබූ පෞරුෂ වර්ධන වැසටහනකට සහභාගී වූයේය.
තරුණයා සමාජගත කිරීමේ පියවර එතැනින් පසුව කොතරම් වේගයෙන් සිදුවූයේද යත් ඔහුට එය දරා ගැනීමට පවා නොහැකි විය. ඔහු දැඩි සේ රෝගාතුර විය. අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේද මේ පෞරුෂ වර්ධන උපදේශකවරයාගෙන්මය.
ඔහු විවිධ කසාය ඇතුළු ඖෂධ වට්ටෝරුවක් මේ තරුණයාට නිර්දේශ කළේය. ඒද නිකම් නොවේ . වරකට රුපියල් දෙදහක් තුන්දහසක් පමණ ගෙවීමට සිදුවිය. මේ ඖෂධ ලබා ගන්නා ඔහුට මෙම පෞරුෂත්ව වර්ධන ආයතනයේ සේවිකාවකගෙන් ලැබි ඇති උපදෙස් වූයේ කිසිසේත් බටහිර මනෝ වෛද්‍යවරුන් කෙරේ යොමු නොවන ලෙසය. අවසානයේ මොහු සුවය ලැබුවේ මනෝ වෛද්‍යවරයකු ගේ විධිමත් ප්‍රතිකාර පන්තියකින් පසුවය.
මේ අයුරින් පෞරුෂත්වය වර්ධනය කර ගැන්මට ගොස් අන්තිමේදී මානසික රෝග සංකීර්ණයක් වර්ධනය කර ගත් පුද්ගලයන් රැසක් වරින් වර හමුවන බව මනෝ වෛද්‍යවරුන්ගේ අත්දැකීමයි.
කෙසේ වුවද මේ නිදසුන් ද්විත්වය මගින් අද මෙරට තරුණ පරපුර හමුවේ ඇති මානසික ප්‍රශ්න සහ ඒවා වෙළෙඳපොළක් කර ගත්තවුන් සහ ඔවුන්ගේ ග්‍රහණයට හසු වීමෙන් රෝගී තත්ත්වයට පසුවන ප්‍රමාණය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. සැබැවින්ම මෙය අද අප සමාජය පෙළන එක්තරා නොපෙනෙන ප්රශ්නයකි. විශේෂයෙන්ම මුදල් හම්බ කිරීමේ චේතනාවෙන් මෙවැනි මනෝ් වෛද්‍ය ප්‍රතිකාර කඩ දමාගෙන සිටින සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් කාණ්ඩ කිහිපයක් මේ වනවිට හඳුනාගනු ලැබ ඇත.
ඉන් එක් කාණ්්ඩයක් වන්නේ පෞරුෂත්ව වර්ධන උපදේශකයන්ය. අනෙක් පිරිස මනස පිළිබඳව අවිධිමත් හැදෑරීම් සිදු කොට තම මතයන් මාධ්‍යයන් ඔස්සේ ඉදිරිපත් නොකොට ජනප්‍රියත්වයක් හිමිකරගත් ඇතැම් වෙනත් වෘත්තිකයන් ඇතුළු විද්වතුන්ය. තවත් මෙවැනි පිරිසක් වන්නේ මෝහනයෙන් ලෙඩ සුවපත් කිරීමට සැදී පැහැදී සිටින මෝහනකාරයින්ය. මෝහනය මීට වසර 150කට පෙර වෛද්‍ය ක්ෂේත්රයෙන් ප්‍රතික්ෂේප කරන ලද ක්‍රමයක් වන අතර අද එය වෛද්‍යවරුන් විසින් භාවිත නොකරන තරම්ය.
මෙම ප්රශ්නයේ අප පැහැදිලිව දකින්නේ එක් අන්තයක් පමණි. එනම් මානසික ප්‍රශ්න විවිධ දෘෂ්ටි කෝණයන්වලින් රූපවාහිනි තිරය ඉදිරියේ බණ දෙසා බාන ඊනියා මනෝ විද්‍යාඥයන් සහ පීඩනයට පත් ජනතාව ගේ පසුම්බි සූරා කෑමට තැත් කරන කූට පෞරුෂත්ව වර්ධකයන් ගේ වෙළෙඳ දැන්වීම්ය. මේ පුද්ගලයන් පසුපස ගොස් අමාරුවේ වැටෙන්නෝ බොහෝ විට නොපෙනෙති. සාමාන්‍යයෙන් පෞරුෂත්ව වර්ධනය කිරීම සඳහා විවිධ ව්‍යායාම සහ ක්‍රියාකාරකම් උගන්වන පුද්ගලයන් ලෝකයේ බොහෝ රටවල සිටිති.
එමෙන්ම මනෝ උපදේශකයොද සිටිති. ඔවුන්ද තම කාර්යයට පිවිසෙන්සේ මනා අධ්‍යයනයකින් අනතුරුව වන අතර ඔවුහු කිසිදු ලෙසකින් ප්‍රතිකාර නොකරති. එහෙත් ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට එවැනි ප්‍රතිකාර පැකේජයක් ඉදිරිපත් කිරීමට මෙම වංචනිකයන් නිතරම සූදානම්ය. නීතියද ඔවුන්ට ඉඩකඩ විවර කර දී ඇත.
මෙරට තුළදී රෝගියකුට වෛද්‍ය ප්‍රතිකාර සිදු කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුය. දේශීය වෛද්‍යවරයකු නම් ඔවුන් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුය. එහෙත් මේ කිසිදු වෛද්‍ය ක්‍රමයකට අයත් නොවන වෛද්‍යවරු ද අද ප්‍රතිකාර කිරීමට ඉදිරිපත් ව සිටිති.
ඔවුන් විසින් නිර්දේශ කරනු ලබන ඖෂධ වෙනුවට ඉතා විශාල මුදලක් ගනිති. මේවා හොර වෛද්‍යවරු ඊට අමතරව නිර්දේශ කරන විකාර මානසික ව්‍යායාමයන් හි ප්‍රතිඵලය වන්නේ ඇතැමුන් ගේ තත්ත්වය තවදුරටත් බෙලහීන තත්ත්වයට පත්වීම සහ ඇතැම් විට මානසික රෝග තත්ත්වයන් උද්ගත වී රෝහල් ගත වීමට ය.
බොහෝ විට මෙවැනි අවස්ථාවන්ට මුහුණ දෙන්නේ මානසික අවපීඩනය, කාංසාව සමාජ භීතිකාව, හෝ භින්නෝන්මාදය වැනි සංකීර්ණ මානසික ව්‍යාකූලතා පවතින පුද්ගලයන් ය. බොහෝ තරුණ තරුණියන් මෙවැනි පුද්ගලයන් වෙත පහසුවෙන් ඇදී යන අතර ඇතැම් පුද්ගලයන් තම දෙමාපියන් හෝ හිතවතුන් ගේ බලපෑම මත එවැනි ස්ථාන කරා යැවෙයි.
මේ තත්ත්වය මෑත කාලීන ව වර්ධනය වීමේ හේතුව ලෙස වෛද්‍යවරුන් දකින්නේ එවැනි පුද්ගලයන් ගේ අවශ්‍යතාව වර්තමාන සමාජය තුළ බහුල කරවීමේ සමාජ සාධක වර්ධනය වීම ය. මේ පිළිබඳ ව මනෝ වෛද්‍යවරුන් ගේ අත්දැකීම වන්නේ සාමාන්‍යයෙන් පුවත් පතක් හෝ රූපවාහිනියක් වැනි ප්‍රසිද්ධ මාධ්‍යයකින් මානසික රෝග තත්ත්වයක් පිළිබඳ ව සාකච්ඡා කරන විටදී එන පශ්චාත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා විශාලය. විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් අදාළ වෛද්‍යවරයා හමුවීමට උත්සාහ කරති.
මෙවැනි තත්ත්වයක් තුළ නිතර නිතර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා ගන්නා ඊනියා මනෝ උපදේශකයන්ට සමාජයෙන් කෙතරම් ප්‍රතිචාරයක් එන්නේ දැයි සිතා ගත හැකිය. මේ තත්ත්වයේ පවතින භයානකකම රැඳී ඇත්තේ ඔවුන් ප්‍රතිකාර කිරීම සඳහා පෙලඹීම මතය.
අනෙක් කරුණ වන්නේ මුදල් බලාපොරොත්තුවෙන් මෙවැනි ව්‍යාපාරවලට පෙලඹී සිටින්නන් තම වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සඳහා අත දිග හැර වියදම් කිරීමය. මේ කරුණ නිසා නිතැතින්ම විශාල පිරිසක් ඔවුන් වෙත ඇදී යයි.
මෙම එක් පුද්ගලයකු වරකට අය කරන මුදල අවම වශයෙන් රුපියල් තුන් දහසක්වත් වේ. රෝගීන් ගේ අත්දැකීම් අනුව වෛද්‍යවරුන් විසින් හෙළි කරගනු ලැබ ඇති තවත් බරපතල ප්‍රශ්නයක් වනුයේ ඇතැම් අවපීඩන තත්ත්වයෙන් පසුවන රෝගීන්ට මෙම හොර වෛද්‍යවරුන් විසින් බටහිර වෛද්‍යවරුන් නිර්දේශ කරන ප්‍රති අවපීඩන ඖෂධ පවා අවිධිමත් ලෙස නිර්දේශ කර තිබිමය.
මෙම ඖෂධ වැඩිපුර ගැනීම නිසා ඒවා ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් ද පවතී.
මෙකී මානසික වෛද්‍ය හොරුන් ගේ වික්‍රමයන් නිසා මේ වනවිටත් මෙරට යම් යම් මානසික ප්‍රශ්න තිබු ප්‍රජාව ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් අමාරුවේ වැටී ඇත. සමහරු නතර වන්නේ රෝහල්වල මානසික රෝගී වාට්ටුවලය. මේ තත්ත්වය හමුවේ දැඩි සේ ක්‍රියාත්මක වන්නට තරම් ශක්තිමත් නීතියක් තවම අපට නැත. ඒ නිසා පොදු ජනතාව ලෙස අපට අප ගැන බලා ගැනීමට සිදුව ඇත. ඒ සඳහා අපට ඇති පළමු මුරායුධය දැනුවත් වීමය.
එහෙත් ගිලෙන්නට යන පුද්ගලයාට පිදුරු ගසත් ගසක් වන තත්ත්වයක් තුළ මානසික පීඩනයන් නිසා ගිලෙන්නට යන බොහෝ දෙනකුට මේ ශක්තිමත් ප්‍රචාරයන් හමුවේ ඔවුන් වෙත යොමු නොවී සිටීමට නම් මේ දැනුවත් වීම ඉතා තදින් සමාජය තුළ ව්‍යාප්ත විය යුතුමය.