ලෝකයට බුද්ධ රත්නය පහළ වූයේ වෙසක් පෝය දවසකයි. බරණැස ඉසිපතනයේදී පස්වග තවුසන්ට දේශනා කළ මංගල ධර්ම දේශනය ශ්‍රවණය කර පස්වග තවුසන් සසුන්ගත වීමත් සමග ඇසළ පෝය දිනයේ ලෝකයට තුනුරුවන් පහළ විය. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන තුන් ලෝකයට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පහළ වූයේ ඇසල පෝය දවසකයි.
ඒ වගේම ඉතිහාසය වෙනස්කළ වැදගත්ම සංස්කෘතික දිනය හැටියට, පූජනීය දිනය හැටියට පොසොන් පෝය සැලකිය හැක. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත පිරිස ශ්‍රී ලංකාවට සැපත් වුණේ මේ දිනයේ දී ය.
බුද්ධ වර්ෂ 236 දී ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ නරපතියකු වූ ධර්මාශෝක රජු රාජ්‍යත්වයට පත්ව වසර දොළහක් ගත වෙද්දී දිග් විජය නවතා ධර්ම විජය තෝරා ගත්තේය. අනතුරුව චක්කවත්ති සංකල්පය අනුගමනය කරමින් පංචශීල ප්‍රතිපත්තිය පදනම් කරගත් බෞද්ධ දේශපාලන දර්ශනයක් අනුගමනය කරමින් සාර්ථකව අධිරාජ්‍යයක් පාලනය කළේය.
ඒ බැව් ලෝක ඉතිහාසයේ වාර්තා තබා ද ඇත. තුන්වන ධර්ම සංගායනාවෙන් පසු බුද්ධ වර්ෂ 236 දී චක්කවත්ති සංකල්පයට අනුව ධර්ම විජය ව්‍යාපාරය ආරම්භ කරමින් මධ්‍ය දේශයෙන් පිට රටවල් නවයකට ධර්ම දූතයන් වහන්සේ පිටත් කර යැව්වේය.
ධර්මාශෝක යුගය භාරතයෙ කහ සිවුරෙන් බැබළුනත් මුළු බුද්ධ ශාසනයම අධිරාජ්‍යය තුළ ව්‍යාප්තව තිබුණ ද එයින් අනාගතයේ බුද්ධ ශාසනය රැකෙන්නේ නැති බව මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ විසින් අශෝක අධිරාජ්‍යයාට උපදෙස් දී තිබුණි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි මධ්‍ය දේශයෙන් පිට රටවල බුද්ධ ශාසනය හොඳින් පිහිටා ආරක්ෂා වන බවත්, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ දේශනා කළහ. ධර්මාශෝක රජතුමා රටවල් නවයක් සඳහා ධර්ම දූතයන් පිටත්කර හැරියේ ඒ පැහැදිලි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
අනෙකුත් රටවල් අටටම ධර්ම දූතයන් වහන්සේලා පස්නම ගානේ යෙදූ මුත් ශ්‍රී ලංකාවට විශේෂ සැලකිල්ලක් දැක්වූ බවක් පෙනේ.
මුටසීව රජුගෙන් පසු ලංකා රාජ්‍ය පාලනය කළ පෑතිස් රජු සමග ධර්මාශෝක රජතුමා ඊට පෙර සංස්කෘතික සම්බන්ධතා පැවැත්වූයේය.
භාරතීය සම්ප්‍රදාය අනුව දෙවැනි වරටත් පෑතිස් රජු අභිෂේකයක් කළේය. දේවානම්පියතිස්ස රජුගේ “දේවානම්පිය” යන අපර නාමය එහිදී පරිත්‍යාග කිරීමෙන් පසු පෑතිස් රජු දේවානම්පියතිස්ස විය.
ලංකාවට ධර්ම දූත පිරිසක් එවන බවට ධර්මාශෝක රජු දේවානම්පියතිස්ස රජුට දන්වා තිබුණේය. ඒ නිසා තිස්ස රජුද මේ ධර්ම දූතයන් පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටියේය. ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පස් නමත්, අනාගාමී භණ්ඩුක උපාසකයත් අභිඥාලාභී සුමන සාමණේරත් ඇතුළු හත් නමක් ධර්ම දූතයන් වහන්සේලා ලංකාවට වැඩියහ.
මේ පිරිස රජුට හමුවන්නේ පොසොන් පෝය දිනයක අනුරාධපුරයේ මිස්සක පබ්බත නමින් හඳුන්වන මිහින්තලයේ දී යි. එහිදී මිහිඳු මහ රහතන් වහන්සේ ලංකා රජුට “තිස්ස” යන නමින් වදාළහ. තම නමින් කතා කරන්නට ලංකාවේ බලපුළුවන්කාරයකු නොසිටින බැවින් දේවානම්පියතිස්ස රජු විශාල කුතුහලයකින් ඒ කවුදැයි සොයා බැලුවේය. එවිට ධර්මදූත පිරිස දුටුවේය. තමන් ධර්ම රාජ බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් බවත් ධර්මාශෝක රජුගේ ධර්මදූත පිරිස හැටියටත් මිහිඳු මහ රහතන් වහන්සේ දෙවන පෑතිස් රජුට හඳුන්වා දුන්හ. එයින් රජු බෙහෙවින් සතුටට පත් විය.
ප්‍රශ්න කීපයක් අසා තැබූ සම්මුඛ පරීක්ෂණයෙන් රජතුමා බුද්ධිමතකු බව තේරුම් ගත් ධර්මදූත පිරිස රජුට ධර්මය දේශනා කළහ. එහිදී රජු ඇතුළු පන්සියයක් පිරිස බුදු දහම වැළඳ ගත්හ. දෙවන පෑතිස් රජු ඇතුළු පිරිස හින්දු භක්තිකයන්ව සිටියද බුද්ධ ධර්මය වැනි රාජකීය ආගමක් නොතිබුණේය. ජන කොටස් අදහමින් සිටියේ ගස් වැල් වන්දනාව, ඉන්දීය ආභාෂයෙන් ගොඩ නැඟුණු හින්දු, ෙජෙන බ්‍රාහ්මණ ආදී ආගම්ය.
එකල මුව දඩයම රාජකීය සම්ප්‍රදායක් විනෝදයක් කොට සැලකීය. නමුත් මිහිඳු මහ රහතන් වහන්සේගේ සම්මුඛ වීමත් උන් වහන්සේගේ අවිහිංසාව පදනම් කරගත් ධර්මය ඇසීමෙන් බෞද්ධයකු වීමත් සමගම සතුන් දඩයම විනෝදයක් කොට සැලකූ රජු ඇතුළු ලාංකික පිරිස පංච ශීල ප්‍රතිපත්තිය අගයන බෞද්ධ පිරිසක් වූහ.
රජුගේ ආරාධනාවෙන් පසුදා අනුරාධපුර නගරයට වැඩි මිහිඳු මහ රහතන් වහන්සේ රාජකීය පිරිසට ධර්මය දේශනා කළහ. චුල්ලහත්ථි පදෝපම සූත්‍රය, පේත වත්ථු, විමාන වත්ථු, මූල පරියාය සූත්‍රය වැනි සූත්‍රවලින් ලාංකීය ජනතාවගේ ධර්ම ඥානය පුළුල් කළෝය.
මෙහිදී දේශනා කළ සූත්‍ර අතරින් වඩා වැදගත් වන්නේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයයි. ඇතකු සොයා යන පුද්ගලයකු නිරීක්ෂණයෙන්ම නිගමනයකට එළඹුණ සේ බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය සෝවාන් වුවද, සකෘදාගාමී වුවද අනාගාමී වුවද නොනැවතී තුනුරුවන් පිළිබඳ පර්යේෂණය අර්හත්වය දක්වා ගෙන යන්නැයි චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේ සඳහන් වේ.
මේ සූත්‍ර දේශනාවත් සමග රජු ඇතුළු ලාංකිකයෝ බුදුදහම හොඳින් වටහා ගත්හ. ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවිය. බුදු දහම ලංකාවේ රාජ්‍ය ආගම බවට පත් විය. එපමණක් නොව ගමක් ගමක් පාසා පන්සල් පිහිටුවීමෙන් ගිහිපැවිදි සම්බන්ධය ද හොඳින්ම තහවුරු විය.
ඉන් මාස පහකට පසු ශ්‍රී මහා බෝධියේ අංකුරයක් රැගෙන අටළොස් ශ්‍රේණියක කලා විශාරදයන් සමග සංඝමිත්තා මෙහෙණින් වහන්සේ උඳුවප් පෝය දිනයේ ලංකාවට වැඩියහ.
ලංකාවේ කලාවන් තිබුණ ද ඒවා බෞද්ධ මුහුණුවරක් ගත්තේ නැත. ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකා පොළවේ රෝපනය කිරීමත් අටළොස් ශ්‍රේණියක කලා ශිල්පීන් ලංකාවේ නොයෙක් ප්‍රදේශවල කැටයම්, චිත්‍ර, මූර්ති, සාහිත්‍යය වැනි නොයෙකුත් කලාවන් දියුණු කොට බෞද්ධ මුහුණුවරක් දුන් නිසා කලාවේ විශාල බෞද්ධ ආභාෂයක් ඇති විය.
බුදු දහම කලාත්මක වශයෙන් සමාජයට ඉදිරිපත් කරන්නට සන්නිවේදන මාධ්‍යයක් ලෙසටත් භාවනාමය මග පෙන්වීමක් නොඑසේ නම් කර්මස්ථානයක් හැටියටත් කලා ශිල්ප හා බෞද්ධ පූජා වස්තූන් සමාජයට හඳුන්වා දී තිබුණේය.
මිහිඳු සංස්කෘතියත් සමග ලාංකිකයෝ චිත්ත දමනය හොඳින් පුරුදු කළහ. සත්ත්ව දඩයම විනෝදයක් කොට සැලකූ පිරිස පංච ශීල ප්‍රතිපත්තිය පදනම් කරගත් සදාචාරාත්මක සංස්කෘතික දායාද උරුමකරගත් සංවර්ධනාත්මක දියුණුවක් ඇති පිරිසක් බවට පත්වූහ.
ලාංකීය රාජ්‍ය ආගම ලෙසට බුදු දහම පත් වීමත්, බුදු දහමේ ආභාෂයෙන් බෞද්ධ අධ්‍යාපන දර්ශනය, බෞද්ධ ආර්ථික දර්ශනය, බෞද්ධ දේශපාලන දර්ශනය, බෞද්ධ සමාජ දර්ශනය යන සියල්ල සමාජය තුළ ව්‍යාප්ත වීමෙන් ශ්‍රී ලංකාව ධර්ම ද්වීපයක් ලෙසටත් පෙරදිග ධාන්‍යාගාරය ලෙසටත් ලෝකයේ ප්‍රචලිත වීමට මහින්ද ධර්ම දූත ව්‍යාපාරය පදනම් වුණේය.
බුදු දහම සීයට සීයක්ම හිත හදන වැඩ පිළිවෙළකි. ඒ නිසා බෞද්ධ ජීවිතය අර්ථය හා ධර්මය යන අංශ දෙකින් යුක්තය. පංච ශීල ප්‍රතිපත්තිය පදනම් කරගත් සම්මා ආජීව ආශ්‍රිතව ධාර්මික ජීවනෝපායන් ලංකාවාසීන්ට හඳුන්වා දුන්නේය. අද අප වැලඳගෙන ඇති විවෘත ආර්ථිකය යටතේ පංච දුෂ්චරිතයම පිළිගත් රාජ්‍ය අනුග්‍රහය ලබන ආදායම් මාර්ග බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග බවට පත්වීමෙන් ඒ බෞද්ධ ආර්ථික ක්‍රමය අද බිඳ වැටී ඇත.
අද පවතින ආර්ථිකය යටතේ එන මත්පැන්, මත්කුඩු, සුරාව, සූදුව වැනි නොයෙක් ආකාරයේ පංච දුෂ්චරිතයන් ආදායම් මාර්ග බවට පත් වීමෙන් සියලුම ජාතීන් සදාචාරයෙන් සහ මනුස්සකමින් පිරිහී ඇත. අද අපට උවමනා කරන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ හඳුන්වා දුන් ඒ පිරිසිදු නිර්මල බුදු දහම නැවතත් ලංකාවට හඳුන්වා දීමටයි. ඒ වගේම සැනසීම ලැබිමට නම් ආගම් බේදයකින් තොරව සියලු දෙනාම ජීවිතය සහනදායක කර ගැනීමට හිත හදාගත යුතු වන්නේ ය.
ජීවිතය සහනදායක කර ගැනීමේ ධර්මානුකූල පියවර තුනක් තිබේ. බුදු දහමේ උගන්වන චිත්ත දමනයට සම්බන්ධ මේ පියවර තුන හැම ආගමකටම සම්බන්ධය. පස් පව් වලින් වැළකීම, පින් දහම්වල නියැලීම සහ සරල භාවනාවක් කිරීම මේ පියවර තුනයි. මේ මාර්ගයේ ගමන් කරන අයෙක් සෝවාන් වුවත් සකෘදාගාමී වුවත් හොඳින් ඉගෙන ගැනීමට, විශ්වවිද්‍යාලයකට යෑම, රැකී රක්ෂා කොට හොඳ ආර්ථිකයක් ගොඩ නගා ගැනීම මෙන්ම සහනදායක විවාහ ජීවිතයක් ගත කිරීමද කළ හැක.
අනාගාමී වුවත් විවාහ ජීවිතයට ඇතුළත් නොවී ගිහි ජීවිතයක් ගත කළ හැකි වන්නේය රහත් වූ පුද්ගලයා සියලුම ඇලීම් බැඳීම් නැති කළ නිසා නිරායාසයෙන්ම පැවිදි ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වේ. ගිහි වූවත් පැවිදි වූවත් චුල්ලහත්ථි පදෝපම සූත්‍රයේ සඳහන් කරන බෞද්ධ චිත්ත දමනය හා නිවන් මග සියලුම ජාතීන්ට විවෘතය. ඒ මග ගොස් සියයට සීයක් හිත හදාගෙන පරම සැනසීම පරම සන්තුෂ්ටිය උපදවාගෙන පරිපූර්ණ ජීවිතයක්, පරිපූර්ණ චරිතයක් පරිපූර්ණ පෞරුෂයක් ගොඩ නගා ගැනීමට අප කාටත් හැකිය.