ලාංකීය ඉතිහාසය තුළ ශිෂ්‍ය අරගලය, කම්කරු පංතිය ඇතුළු පොදු ජනතාව සමග බද්ධ වී ඉතාමත් සංවිධිතව සමස්ත ශ්‍රී ලංකාව පුරාම පැතිරුණු දීර්ඝ කාලීන බහුජන අරගලයක් දක්වා පෙරට ගොස් ජයග්‍රහණ අත්පත් කර ගැනීම පිළිබඳ පළමු අත්දැකීම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය බව සනිටුහන් කිරීමට හැකිවීම, එකී අරගලයට නායකත්වය දී දිවි පිදූ සියල්ලන්ගේත්, අරගලයේදී අපරිමිත ධෛර්යයෙන් කටයුතු කළ සියල්ලන්ගේත් ගෞරවය පිණිස වනු ඇත.
ඒ දීර්ඝ පරිත්‍යාගශීලී ජයග්‍රාහී අරගලය දෙස හැරී බැලීම අප අපේ අද දවස ගැන කතා කිරීමටත්, හෙට දවස නැවත ක්‍රියාකාරී වීමටත් අවශ්‍යම දෙයක් වනු ඇත.
මක්නිසාද යත් අද දවසේත්, අනාගතයේත් එල්ල වී තිබෙන සහ එල්ල වෙමින් පවතින අභියෝගයන් වඩාත් දුෂ්කර හා අසීරු වීමට වඩාත්ම ඉඩ ඇති හෙයිනි.
අප සැමට දෙපයින් නැගී සිට ජීවත් විය හැකි ලොවක් තනන්නට වෙහෙසුනු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයේදී මරා දැමුණු හා අතුරුදන් කරනු ලැබූ සිසු විරුවන් රැසකි.
පද්මසිරි ත්රීමා විතාන : නුඹ හොඳ කවියෙකි. හොඳ චිත්‍ර ශිල්පියෙකි. ඒ සැමටම වඩා හොඳ මිනිසෙකි. ආදරණීය ත්රීමා, නුඹ ජීවිතයෙන් ද මරණයෙන් ද වෛද්‍ය ශිෂ්‍ය අරගලයේ පෙර ගමන්කරු විය.
වෙනුර එදිරිසිංහ :- සමකාලීනයන් නුඹ ගැන කියද්දී නුඹ හිත හොඳ නිරහංකාර කොල්ලෙක් බව කියනවා. අපේ උපාධිය රැක දුන් නුඹට උපාධිය පමණක් නෙවෙයි ජීවිතය ද අහිමි වුණා.
සරත් කොල්ලුරේ :- මේ නුඹ වැන්නවුන් අවශ්‍ය යුගයක්. නුඹ වැන්නවුන්ගේ වටිනාකම වැඩි වැඩියෙන් දැනෙන යුගයක්. එබැවින්, පෙරදිග අහස්කුස පහන් තරුවක් වී පායන්න, අපට මග පෙන්වන්න.
අතුල සේනාරත්න, :- හමුවන හැම විටකම අව්‍යාජ සිනහවකින් සංග්‍රහ කරන නුඹ එඩිතර සටන්කාමීත්වය හා අවංක බව උපතින්ම උරුම කරගෙන හිටියා. නුඹ හා නුඹ වැනිම විරුවන් විසින් දිවි හිමියෙන් රැකදුන් බිමේ ඉගෙනුම ලබන අපේ උත්තමාචාරය
සිසිර කීර්ති ජයවර්ධන :- සමකාලීනයන් නුඹ හඳුන්වන්නේ හෙමින් කතා කරන, හෙමින් ගමන්කරන එහෙත් බොහෝ දුර ගිය සහෝදරයා හැටියට. හෙට දවසේ අප ලබන වෛද්‍ය උපාධියේ නුඹේ සුවඳත් රැඳී තිබෙන බව අපගේ විශ්වාසයයි.
කුමාර කුලතුංග :- දයාබර කුලේ, ඉතාම දුෂ්කර තත්ත්වයන් කවට කතාවෙන් නුඹ සැහැල්ලු කළ අයුරු ඔවුන් තවමත් ගෞරවයෙන් සිහි කරනවා.
ලීල් සමරනාත්
ඇතැමුන් අරගලය හමුවේ කර අරිද්දී ලිස්සා යද්දී නුඹ සැබෑ වගකීමකින් ඊට දායක වුණා. නුඹ දිවි පිදුවේ අපගේ උපාධිය වෙනුවෙන්.
සුගත් අශෝක ද සිල්වා
හැකියාවන්ගෙන් පිරුණ නුඹ, සදහටම අපෙන් වෙන් කරලා. එසේ වුවත් ඔබ අප වෙනුවෙන් කළ මෙහෙය, පරිත්‍යාගය අපට අමතක කළ නොහැකියි.
නිශාන්ත එදිරිවික්රම : අලුත් වසරට ඇතුළු වුණ නුඹ කිසිදු පැකිලීමකින් තොරව සියලු දුෂ්කරතා හමුවේ අරගලයට බද්ධ වුණා. ගැටලු හමුවේ ඉන්ද්‍රඛීලයක් ව සිටි නුඹ අප සිහි කරන්නේ හදපිරි භක්තියෙන්.