Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාවේ පළමු වරට වේදනා කළමණාකරණ හෙද පුහුණුව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සුවපත් හෙටක් සවිමත් රටක් සංකල්පය යටතේ හෙද සේවයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව හෙද හෙදියන්ගේ වේදනා කළමනාකරණ පාඨමාලාව අද  පෙරවරුවේ ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරුණා. වේදනා කළමණාකරණ හෙද පුහුණුව මෙරට ප්‍රථම වරට ආරම්භ කෙරුණු අතර එහි පළමු  කණ්ඩායමට 42 ක් ඇතුලත්.

පාඨමාලා කාලය මාසයක් පුරා පැවැත්වෙන අතර එයට වේදනා කළමණාකරණය පිළිබඳව න්‍යාත්මක හා ප්‍රායෝගික පුහුණූව ඇතුලත් වෙනවා. පාඨමාලාව අවසානයේ අදාළ හෙද හෙදියන් තමන් සේවය කළ රෝහල් වෙතම අනුයුක්ත කරනු ලබනවා. එහිදි මෙම හෙද පිරිසට පිළිගත් සහතික පත්‍රයක් සහ හෙද නිල ඇදුමේ පැළදීම සඳහා විශේෂිත වු ලාංජනයක් ද පිරිනැමෙනු ඇත.

වේදනා කළමනාකරණ පුහුණුව අවසන් කළ හෙදියන් මෙරට රෝහල් පද්ධතියේ දැඩි සත්කාර ඒකක, ආසාදන පාලන ඒකක, ළමා රෝග ඒකක සහ හදිසි ප්‍රතිකාර සේවාවන් ආවරණය වන පරිදි සේවයේ යෙදවීමට නියමිතයි. පළමු කණ්ඩායම සෞඛ්‍ය සේවයට එක් කිරීමෙන් අනතුරුව එක් වසරක් තුළ කණ්ඩායම් 3 බැගින් පාඨමාලාව සඳහා බඳවා ගැනීමට සැලසුම් කර ඇත.  නිර්වින්දන විශේෂඥ වෛද්‍ය විද්‍යායතනයේ පුර්ණ අධීක්ෂණය යට‌තේ ක්‍රියාත්මක මෙම  වේදනා කළමණාකරන පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල මගිනි.

මෙම අවස්ථාව සංවිධානය කළ  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී.සමන්මලී මහත්මිය සඳහන් කළේ තායිලන්තයේ චුලන්ගන් විශ්ව විද්‍යාලයෙන් වේදනා කළමණාකරණය පිළිබඳ පුහුණුව ලැබු ශ්‍රී ලාංකික හෙදියන් 25 දෙනෙකුගෙන් මෙම ක්ෂේත්‍රය මෙරට රෝහල් පද්ධතිය වෙත හදුන්වා දී ඇති බවයි.

එම පුහුණුවේ දී ලද අත්දැකීම් සහ වසර 2 කට අධික කාලයක් සිදු කළ කැපවීමේ ප්‍රතිපලයක් වශයෙන් අද දින වේදනා කළමණාකරණ පාඨමාලාව මෙරට දී ආරම්භ කිරීමට හැකි වු බවයි ඇය පෙන්වා දුන්නේ.  හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී.සමන්මලී මහත්මිය කෘතඤපූර්වකව සිහිපත් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයත්, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, හෙද වෛද්‍ය සේවා අංශයත් මෙම කර්තව්‍ය සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වු බවයි.

ජාතික රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන දේශනය මෙම පාඨමාලාවේ ප්‍රධාන සම්බන්ධීකාරකවරිය වන විශේෂඥ වෛද්‍ය තමාශි මකුලොළුව මහත්මිය විසින් පවත්වනු ලැබුවා. මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ තෘතීය සත්කාර සේවා නියෝජ්‍ය අධක්ෂිකා වෛද්‍ය අනුෂිකා අබේනායක, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා, වේදනා කළමණාකරණ අධ්‍යනපීඨයේ අංශාධිපති විශේෂඥ වෛද්‍ය ගයානි වල්පොල  යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා.

Scroll to Top