ගාල්ල අධ්‍යාපන කලාපයේ ඉංග්‍රිසි ගුරුවරුන් දෙසීයයකට (200) වැඩි ප්‍රමාණයක අතිරික්තයක් තිබෙන බවත් එසේ තිබියදී ඇල්පිටිය, උඩුගම, දෙනියාය, මොරවක, හම්බන්තොට යන අධ්‍යාපන කලාප වල විශාල ඉංග්‍රීසි ගුරු ඌනතාවයක් තිබෙන බවත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ගාල්ල, මාතර හා අම්බලන්ගොඩ යන නගරවල ජනප්‍රිය පාසල් වල මෙසේ ඉංග්‍රීසි ගුරු අතිරික්තයන් තිබිය දී ඉහතින් පෙන්වා දුන් දුෂ්කර අධ්‍යාපන කලාප වල ගුරු ඌනතාවයන් පැවතීම බරපතල ගැටලුවක් බවත් එසේ තිබියදී ලගම පාසැල හොදම පාසැල වන්නේ කෙසේදැයි ගුරු සංගම් නියෝජිතයෝ චෝදනා කරති.
ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ පමණක් ඉංග්‍රිසි ගුරුවරුවරුන් 27 කගේ පුරප්පාඩු තිබෙන අතර සෙසු කලාප වල ද ඉංග්‍රිසි විෂයට අමතරව ගණිතය, ප්‍රාථමික ගුරු ඌනතාවයන්ද බහුලව ඇති බවත් ගුරුවරුන් දෙමාපියන් මෙන්ම පාසල් ප්‍රධානීන්ද සදහන් කරයි.
ගුරු තුලනය ඇති කිරීමේ අරමුණින් ගුරුවරුන්ට ස්ථාන මාරු ලබා දී තිබුණත් එයින් බොහෝ පිරිසක් ස්ථාන මාරුවලට අදාලව සේවයට වාර්තාකර නැත. එම ගුරුවරුන් අදාල පාසල් වලට නොයන්නේ දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට යෑමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම නිසා බවද කියයි. ප්‍රවාහනය බරපතල ගැටලුවක් ලෙස සදහන් කරමින් නගර වල ජනප්‍රිය පාසල් වලට විවිධ දේශපාලන සම්බන්ධකම් ගොඩනගාගෙන ස්ථාන මාරු අවලංගු කරගෙන තිබෙන බව දකුණු පළාත් ගුරු සංගම් එකමුතුව සදහන් කරයි. ජනප්‍රිය පාසල් වල කාල සටහන් නොමැතිව මෙම ගුරුවරුන් නිකරුණේ කාලය ගත කරන බවද දකුණු පළාත් ගුරු සංගම් එකතුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි වික්‍රමසිරි මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.
සෑම පාසැලකම දරුවන්ට එක සමානව අධ්‍යාපනයේ ප්රතිලාභ ලැබිය යුතු බව අපි පිළිගන්නවා. ඒ නිසා ගුරු තුලනය ඇති කිරීමට ස්ථාන මාරුවීම් ලබා දුන්නා. මානුෂික හේතුන් සලකා බලා අවශ්‍ය පරිදි සියළු ස්ථාන මාරුවීම් ලබා දුන්නා. ඒවට විවිධ ගුරු සංගම් හරස් වෙලා අවහිර කරලා අස්ථාන චෝදනා කරන්න පටන් ගත්තා. ගුරු මාරු මණ්ඩල ප්‍රතිපත්ති උල්ලංඝනය කරා කියලා චෝදනා කරන්නෙත් ඔය කියන ගුරු සංගම්ම තමයි.
ගාල්ල කලාපය ඇතුලු තවත් කලාප කිහිපයක ඉංග්‍රිසි ගුරු අතිරික්තයක් තිබෙන බව දන්නවා. එය වැරදි බවත් ගුරු අතිරික්තයක් තිබෙන පාසැල් වලට ඔවුන් යොමුකල යුතු බවත් පිළිගන්නවා. ඒ පිළිබදව අපි ඉදිරියේ දී නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. ගුරු තුලනය ඇති කිරිමට කඩිනමින් කටයුතු කරනවා යැයිද වයි වික්‍රමසිරි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.