මහ මුහුදේ කිලෝමීටරයක් පමණ දුර සැරිසැරීමේ හැකියාව ඇති අද්විතීය නිර්මාණයක් බවට මඩකලපුව පාසිකුඩා වෙරළ තීරය පත්ව තිබේ. විශාල කොරල් පරයක් හේතුවෙන් මුහුදු රළ පහර පැමිණීම මෙහි වළක්වන අතර මේ නිසා මුහුදු ක්‍රීඩා සඳහා ද මෙම ස්ථානය ප්‍රසිද්ධියක් උසුලති.
සොබා දහමේ සුන්දරත්වය නැරඹීම හා අත්විදීම සඳහා ජාති ආගම් ප්‍රදේශ භේදයෙන් තොරව නන් දෙසින් සංචාරයකන් පැමිණෙන අතර ඔවුන් ඉලක්ක කර ගනිමින් මෙහි ව්‍යාපාරිකයන් ද ජාති ආගම් භේදයෙන් තොරව වෙළදාමේ යෙදෙති.
මම වසර ගණනාවක් සිට පාසිකුඩා වෙරළ තීරයේ සංචාරක කර්මාන්තයේ නිරත වෙනවා, සංචාරයක මඟ පෙන්වන්නේකු ලෙස මෙන්ම සංචාරක රියදුරෙකු ලෙස මම කටයුතු කරනාවා. නමුත් අද අපට ලැබෙන ආදායම බෙහෙවින්ම අඩු වෙලා යැයි පාසිකුඩාහි කනාසුන්දර්න් යෝගනාදන් (60) මහතා ප්‍රකාශ කළේය.
දිනකට පාසල් දරු දැරියන් ද ඇතුලුව දෙස් විදෙස් සංචාරකයන් පන්දහසක් පමණ පැමිණි පාසිකුඩා වෙරළ තීරයට අද පන්සියයක්වත් නොපැමිණෙන බවත් මේ හේතුවෙන් මෙහි සිට දිනපතා ආදායම් ලබන විශාල ප්‍රමාණයක් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි යෝගනාදන් මහතා සදහන් කළේය.
පාස්කු ප්‍රහාරයේ ආර්ථික කඩා වැටීම් මෙරට අංශ ගණනාවකට සෘජු බලපෑම් එල්ල කළ අතර ඒ තුළට සංචාරක කර්මාන්තයට සිදුවුණේ විශාල බලපෑමකි. පාසිකුඩා වෙරළ තීරයේ එදා විදේශීය සංචාරකයන් පැය ගණන් රැදී මුහුදු දිය ක්‍රීඩා සහ වෙරළ නැරඹීමෙහි නිරත වුවත් අද සංචාරකයන් මෙම තීරයේ සොයා ගැනීම ද අසීරු කාර්යයකි.
පාස්කු ප්‍රහාරයෙන් පසුව එහි අහිතකර බලපෑම ජාති ආගම් භේදයෙන් තොරව සියලු දෙනාට විදීමට සිදුව ඇතැයි පාසිකුඩා ව්‍යාපාරිකයන් සඳහන් කළහ.
ප්‍රහාරයත් සමඟ පාසිකුඩා වෙත සංචාරකයන්ගේ පැමිණීට සම්පුර්ණයෙන්ම නතර වුණා. දැන් තමයි තරමක් හෝ ඔළුව උස්සන්නේ යැයි වාලච්චේන සිට පැමිණ අයිස් හා කැවිලි අලෙවි කරන අබේනායක ධනපාල මහතා කීවේය.
මෙම ස්ථානයේ දෙමළ, සිංහළ හා මුස්ලිම් යන ජාතීන්ට අයත් අය ව්‍යාපාර කරනවා. අපි අතර කිසිදු අසමගියක් හෝ ජාති ආගම් භේදයක් නැහැ. අපි සියලු දෙනාට සිංහළ, දෙමළ භාෂා කථා කරන්න පුළුවන්. ජාතින අතර විවාහවීම් පවා සිදුව තිබෙනවා. නමුත් ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ව්‍යාපාරිකයන් මෙහි රැදී සිටීමට බිය වුණා. ව්‍යාපාරික ස්ථාන වසා ගිය ඇතමුන් තවමත් ආවේ නැහැ.
අපි අතර කිසිදු අසමගියක් නැතත් සමාජයේ මතුවූ සැකය නිසා මුස්ලිම් ව්‍යාපාරිකයන් මෙහි පැමිණීමට බිය වුණා. නමුත් අපි ඔවුන්ට ආරාධානා කරනවා, මෙහි පැමිණ පැරණි අයුරින්ම අප සමඟ අත්වැල් බැඳගෙන ව්‍යාපාර කරන්න එන්න කියලා. අපේ සිතේ කිසිම තරහක් නැහැ. එක් පිරිසක් කළ අපරාධයකට සමස්ථ වර්ගයක් වන්දි ගෙවිය යුතු නැහැ. මගේ උපන් ගම පදියතලාව. අතීතයේ සිට මේ දක්වාම අපි සියලු ජාතීන් සහයෝගයෙන් ජීවත්වුණු රටක් මේක.
ජාති ආගම් භේදයක් නොමැතිව මෙහි පැමිණෙන සංචාරයකයන් සඳහා ලැබෙන පහසුකම් නම් කිසිසේත්ම ප්රමාණවක් නොමැති බවයි, මෙහි ව්‍යාපාරිකයන් පවසන්නේ. දිනකට පන්දහසක පමණ පිරිසක් පැමිණෙන මෙම ස්ථානය සඳහා ප්‍රමාණයත් වැසිකිළි පහසුකම් නොමැත. ඉදිකර ඇති වැසිකිළිවල ජල ටැංකි ස්ථාපිත කර තිබුණත් එහි ජලය නොමැති බව ඔවුන් සදහන් කරති.
මුහුදු දිය නෑමෙන් පසු ස්නානය සඳහා ජල කරාම සවි කර ඇතත් එහි ජලය නොපැමිණෙන අතර මේ හේතුවෙන් සංචාරකයන් සියලු දෙනාටම මීටර් තුන්සියයක් පමණ දුරින් පිහිටි නාන ස්ථානයකට යාමට සිදුවන්නේ පාසිකුඩා වෙත පැමිණෙන ප්‍රධාන මාර්ගය ඔස්සේය.
නිරන්තරයෙන් අයාලේ යන ගවයන් හා සුනඛයන් මෙම පරිශ්‍රය අපවිත්‍ර කිරීමට මෙන්ම සංචරකයන්ට අනතුරුදායක තත්ත්වයන් නිර්මාණය කරන බව ද එහි පැමිණෙන්නෝ පවසති.
වර්තමානයේ ක්‍රමක්‍රමයෙන් පාසිකුඩා සංවාරක වෙරළ තීරය පිබිදීමත් සමඟ සංචාරයකයන් සඳහා ප්‍රමාණයත් යටිතල පහසුකම් ප්‍රවර්ධනය කළ යුතුව ඇතැයි එහි පැමිණෙන්නෝ පවසති.