Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පත්තිනි දෙවියන් හා දෙවොල් දෙවියන් ගොඩබෑ සීනිගම දේවාලය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

 

සීනිගම දේවාල භූමියේ පොල් ගහන ස්ථානයට ඉදිරිපිටින් හා මිරිස් අඔරන ස්ථානයට නුදුරින් බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරන ලද ධාතූ මන්දිරයක් ඉදිකිරීම පිළිබදව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලාගේ මෙන්ම බෞද්ධ ජනතාවගේ දැඩි විරෝධයක් මතු වෙමින් තිබේ.

සීනිගම දේවාලයේ ඉදිකරන ලද මෙම තෙමහල් ධාතූ මන්දිරය විවෘත කරන ලද්දේ 2019 මැයි 17 දින පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. සර්වඥ ධාතූන් වහන්සේලා කරඩුවේ තැන්පත් කිරීම මෙන්ම පළමු පුෂ්පෝහාර දැක්වීමද ජනාධිපතිවරයා විසින් සිදු කර තිබේ. දේවාලයේ වත්මන් භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතාගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා විසින් ධාතූ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා ඇතුළු මැති ඇමතීන් හා දේශපාලනඥයින් රැසක් සහභාගි විය.

සීනිගම දේවාලය ඉතිහාසයේ සිටම ජනතාව අතර ප්‍රසිද්ධව ඇත්තේ දුකට පත් ජනතාවගේ ප්‍රශ්ණ වලට පිහිට වන ස්ථානයක් ලෙසය. එබැවින් එම ස්ථානයට බැතිමතුන් ආවේ තමන්ට කරදර කරන අයට එරෙහිව පොල් ගහන්න, මිරිස් අඔරන්න ආදි කාර්යයන් වලටය. එසේ කියන්නේ දේවාල භූමියේ ධාතූ මන්දිරයක් ඉදිකිරීමට එරෙහි බැතිමතුන්ය. එමෙන්ම සීනිගම දේවාලය මෛත්‍රිය, කරුණාව වඩවන, බුදුන් වහන්සේ වැදුම් පිදුම් කිරීමට සුදුසු ස්ථානයක් නොවන බව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා හා බෞද්ධ ජනතාවද යම් ප්‍රමාණයක් පවසයි. මේ හේතුව නිසා සීනිගම දේවාලයට එන බැතිමතුන්ගේ ප්‍රබල අඩුවක් දක්නට තිබෙන බවද බැතිමත්හූ ප්‍රකාශ කරති. බුදුන් වහන්සේගේ ධාතූ මන්දිරය ඉදිරිපිට පොල් ගසන්නට මෙන්ම මිරිස් අඔරන්නට නොහැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

සීනිගම දේවාලයේ ඉතිහාසයේ සිටම සිදුකරන ලද්දේ පත්තිනි දෙවියන් හා දෙවොල් දෙවියන් ඇදහීමයි. දෙවොල් දෙවියන් සීනිගමට ගොඩබෑමෙන් පසු පත්තිනි දෙවියන් නවගමුව දේවාලයට වැඩිය බවද ඉතිහාසයේ දැක්වේ. නමුත් මේ වන විට අළුතෙන් මුහුදු මහිමේඛලා දෙවගන යනුවෙන් පිලිරුවක් සීනිගම දේවාල භූමියේ සකසා වන්දනා මාන කිරීම හා දෙවියන් නෑවීම යනුවෙන් නානුමුර මංගල්‍යයක් පැවැත්වීමද සිදුකරන බව බැතිමතුන් කියයි. මෙවා සීනිගම දේවාලයට ආගන්තුක කාරණා බවද ඔවුන් පවසයි. මුහුදු මහිමේඛලා දෙවගන යනුවෙන් මාළුවෙක් උඩ සිටිනා ආකාරයට සකසන ලද මෙම දෙවගන, මුහුදට අධිපති දෙවගනක් ලෙස දේවාලයේ භාරකාරත්වය විසින් පෙන්වා දි තිබේ. නානුමුර මංගල්‍ය ලෙසින් දෙවියන් නෑවීම සිදුකරනු ලබන්නේ දේවොල් දෙවියන් නොව ශිව දෙවියන් බවද බැතිමතුන්ගේ අදහසයි.

පඩුරු හා පරිත්‍යාග ලෙස දිනකට දේවාලයට විශාල මුදලක් ලැබෙන බව පවසන බැතිමත්හු කිරිපිඩු පූජාවට හා දවල් බුද්ධ පූජාවට රුපියල් 10,000/- ක් බැතිමතුන්ගෙන් අය කිරීම ඉතා අසාධාරණ බවද පවසයි. නිශ්ශබ්ද පරිසරයක් ලෙසින් තිබූ සීනිගම දේවාලය, ශබ්ද වාහිනී යන්ත්‍ර මගින් කවිගායනා කර බැතිමතුන්ගෙන් මුදල් එකතු කරන ස්ථානයක් බවට පත් කරගෙන තිබෙන බවටද ඔවුහු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් සීනිගම දේවාලය ඉදිරිපිට පිහිටි කුසුමාරාම විහාරස්ථානයේ විහාරාධිපති, හික්කඩුව ශාසණාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී, අමරපුර මූලවංශික මහ නිකායේ මහා ලේඛකාධිකාරී අකුරල මංජුල තිස්ස නාහිමියන් මෙසේ පැවසීය.

සීනිගම දේවාලයේ ධාතූ මන්දිරයක් ඉදිකිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්. මම වසර 35 ක් සීනිගම දේවාල භාරකාර මණ්ඩලයේ පැවදි අනුශාසකවරයා ලෙස කටයුතු කරනවා. දැන් ඉන්න භාරකාරතුමා අපේ අනුශාසනා පිලිගන්නේ නැහැ. සීනිගම දේවාලයේ කරන්නේ පොල් ගහන එකයි, මිරිස් අඔරන එකයි. හරි හෝ වැරදි, දුකට පත් ජනතාව තමන්ට කරදර කරන අයට සාප කරමින් මෙසේ කරනවා. මේවා සම්පූර්ණයෙන්ම බෞද්ධ දර්ශණයට පටහැනියි. නමුත් අපි බෞද්ධ භික්ෂූන් වහන්සේලා ලෙස කිසිදු දිනක ඒවා නතර කරන්න කියල බලපෑම් කරල නැහැ.

දැන් සීනිගම දේවාල භූමියේ බුදුන් වහන්සේගේ ධාතූ මන්දිරයක් සකස් කරල තිබෙනවා. මිනිස්සුන්ට සාප කරන පොල් ගහන ස්ථානය දිහා බලාගෙන බුදුන් වදින්නයි, දැන් බෞද්ධ ජනතාවට සිදු වෙලා තිබෙන්නේ. මේවා විහිළු ක්‍රියා. මේ දෙක එකට ගැලපෙන්නේ නැහැ. එක්කෝ සීනිගම දේවාලයෙන් ධාතූ මන්දිරය ඉවත් කරන්න ඕනෑ. එහෙම නැත්නම් සිනීගම දේවාලයේ පොල් ගහන එකයි, මිරිස් අඔරන එකයි නතර කරන්න ඕනෑ. පන්සල් වලත් දේවාල තිබෙනවා. නමුත් ඒවායේ කවදාවත් පොල් ගහන වැඩ, මිරිස් අඔරන වැඩ කරන්නේ නැහැ. මේ වැඩේට හික්කඩුව ප්‍රදේශයේ සියළු භික්ෂූන් වහන්සේලා විරුද්ධයි. නිහඩව ඉන්නේ ඇයි කියල මටත් බණිනවා. ඉදිරියේදි මේ වෙනුවෙන් යම් මැදිහත් විමක් කරන්න බලාපොරොත්තු වෙනවා.

සීනිගම දේවාලයේ හිටපු භාරකාර සම්පත් විරාජ් ප්‍රසන්ජන මහතා මෙසේ කීය.

මම 2008 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා සීනිගම දේවාලයේ භාරකාර ලෙස කටයුතු කළා. සීනිගම දේවාලය ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ දෙවොල් දෙවියන් අදහන්නයි. ඈත අතීතයේ සීනිගම, පත්තිනි දෙවියන් වැඩසිටි බව පැවසෙනවා. දෙවොල් දෙවියන් සීනිගමට පැමිණීමෙන් පසු පත්තිනි දෙවියන් නවගමුවට වැඩිය බවයි, ඉතිහාසයේ සදහන් වෙන්නේ. අද වන විට සීනිගම දෙවොල් දෙවියන් ඇදහිල්ලට විකාර එකතු වෙලා තිබෙනවා. මුහුදට අධිපති  මුහුදු මහිමේඛලා දෙවගනක් අදහනවා. නානුමුර මංගල්‍යයක් පවත්වනවා. මෙවා සීනිගමට ආගන්තුක කාරණා. දෙවියන් නෑවීම සිදුකරන්නේ හින්දු භක්තිකයින්.

සීනිගම දේවාලයේ පොල් ගහන එකයි, මිරිස් අඔරන එකයි කරන්නේ. තමන්ට කරදර කරන ජනතාවගෙන් තමන් ආරක්ෂා කර ගන්න කරදර කරන ජනතාව විනාශ වෙන්න කියලයි, බැතිමතුන් එසේ කරන්නේ. එතන කරුණාව, මෛත්‍රිය නැහැ. ධාතූ මන්දිර තිබෙන්නේ පන්සල් වලයි. දේවාලයයි පන්සලයි එකම දේ කරන්න ගියොත් පටලැවිල්ලක් ඇති වෙනවා. දේවාලය දේවාලයට අයිති දේ පමණක් කරන්න ඕනෑ. අද වන විට දේවාලයට එන බැතිමතුන්ගේ අඩුවක් තිබෙනවා. සීනිගම දේවාලයට එන්නේ වැඩි පිරිසක් සිංහල බෞද්ධයන්. ඔවුන් ප්‍රකාශ කරන්නේ ධාතූ මන්දිරය දිහා බලාගෙන පොල් ගහන්නත්, පොල් ගහන තැන දිහා බලාගෙන ධාතූ වදින්නත් බැරි බවයි. මේ හේතුවෙන් දේවාලයේ ආදායමද විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.

සීනිගම දේවාලයේ වත්මන් භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා මෙසේ පැවසීය.

සීනිගම දේවාලයේ ශාන්ති පැත්තයි, අවලාද පැත්තයි දෙකම සිදු කෙරෙනවා. අවලාද පැත්ත වන පොල් ගහන්න, මිරිස් අඔරන්න එන සියළු දෙනාම පිට පළාත් වල අය. අම්පාර, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, පුත්තලම වැනි ප්‍රදේශවලින් අවලාද පැත්තේ කටයුතු සදහා බැතිමතුන් එන්නේ. නමුත් දේවාලය අවට මිනිසුන් එන්නේ ශාන්ති පැත්තේ කටයුතු සදහා. ඔවුන් එන්නේ බුදුන් වදින්න. භාවනා කරන්න වගේ කටයුතු සදහා.

දේවාල භූම්යේ දිගු කලක සිට බුදු මැදුර තිබෙනවා. බෝධීන් වහන්සේ තිබෙනවා. ධාතූ මන්දිරයක්ද ඉදිකළා. බුදුන් වහන්සේගේ ධර්මයට ස්ථිර තැනක් නැහැ. ඕනෑම තැනක සිට බුදුන් වදින්න පුළුවන් වෙන්න ඕනෑ. පන්සලේ විතරයි, බුදුන් වදින්න ඕනෑ කියල කාටවත් කියන්න බැහැ. බෞද්ධ ජනතාව බුදුන් වදින්න කැමති තැනට යාවි. මේ තත්ත්වය ඇතැම් භික්ෂූන් වහන්සේලා පටලවා ගෙන තිබෙනවා. පන්සලට බෞද්ධයින් එන්නේ නැත්තේ සීනිගම දේවාලයේ වරදින් නොවෙයි. බෞද්ධයන්ගේ ආගමික කටයුතු පන්සලට පමනක් සීමා විය යුතුයි, කියල කව්රුහරි කියනවා නම් ඒක වැරදියි. ගල්දූව ආරණ්‍යයට කොච්චර මිනිස්සු යනවද? බෞද්ධ පරිසරයක් නිර්මාණය වන සෑම තැනකටම බෞද්ධ ජනතාව යනවා.

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

Scroll to Top