Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වයිකින් ස්කයි නැව බේරාගත් හෙලිකොප්ටර් මෙහෙයුම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
ලෝකයේ නාවික ගමනා ගමනය ආරම්භ වූ දිනය කවදාදැයි නිශ්චිතවම කියන්නට බැරි සේම එදා මෙදා තුර සාගරයේ ගිලී සැඟව ගිය නෞකා ප්‍රමාණයද නිශ්චිතව කීමට කිසිවෙකුටත් නොහැක. එහෙත් ලෝකයේ ඕනෑම කෙනෙකු දන්නා එක නාවික අනතුරක් වෙයි. ඒ 1912 අප්‍රේල් 15 දා 1600 කට අධික පිරිසකට මරු කැඳවමින් ගිලීගිය “ටයිටැනික් නෞකා” අනතුරයි. එකී අවාසනාවන්ත සිදුවීම යළි සිහි ගන්වන සිදුවීමක් පසුගියදා නෝර්වේ රාජ්‍යයට නොදුරු මුහුදේදී සිදුවිය. ඒ මගීන් 1373 දෙනකු සමග ගිලෙන්නට ගිය “Viking Ocean Sky”  නෞකාව කෙස් ගසෙන් බේරීමය.
වයිකිං ස්කයි මගී නෞකාවේ සංචාරයක යෙදෙන්නට ඇත්නම් කොපමණ අගේදැයි රොඩ්නි හෝර්ගන් කල්පනා කළේ මීට මාස කිහිපයකට පෙරය. ඒ බලා‍පොරොත්තුව සැබෑ කරමින් මේ සැප පහසු හා සුඛෝපභෝගී යාත්‍රාවේ සංචාරයක යෙදෙන්නට ඔහු අවස්ථාව උදාකර ගත්තේ පසුගිය සතියේය. ඒ අනුව සිය බිරියද කැටුව ඔවුන්ගේ මුල් ගම්බිම් වූ නෝර්වේ බලා සංචාරයකට රොඩ්නි හෝර්ගන් එක් වූයේ අපූරු අත්දැකීම් රාශියක් සිය ජීවිතයට එක් කර ගන්නා අටියෙනි.
සුන්දර අත්දැකීම් බලා‍පොරොත්තුවෙන් නැව් නැංගේ වුවද හෝර්ගන් ගේ අත්දැකීම බලා‍පොරොත්තු වූ තරමට නොව කිසිලෙසකින් හෝ අපේක්ෂා නොකළ තරමටම අමිහිරි හා බියකරු විය. ඒ මන්දැයි ඔහුගේම වචන වලින් අහන්නට ලැබේ නම් වඩාත් අගනේය.
“අපි හිතුවේ සේරම ඉවරයි කියලා. මම නම් හිත හදාගත්තා. එහෙම දෙයක් වෙයි කියාල මම නං හීනෙකින්වත් හිතුවේ නැහැ. එකපාරටම මහා විශාල ජලකඳක් නැවේ වීදුරු දොරටු කඩාගෙන ආවා. එවේ‍ලේ එතැන හිටිය මගේ බිරිඳ බිම දිගේ අඩි විස්සක් තිහක් එහාට ඇදිලා ගියා”  හැට දෙහැවිරිදි රොඩ්නි හෝර්ගන් ඒ බියකරු සිදුවීම සිහි කරන්නේ එලෙසිනි. Viking Ocean Cruisses සමාගමට අයිති වයිකිං ස්කයි සුඛෝපභෝගී මගී නෞකාව එදා නෝර්වේ හි දකුණු දිග නගරයක් වූ ස්ටැවෙන්ජර් වෙත යාත්‍රා කරමින් සිටියේ මගීන් 1373 දෙනකු සමගිනි.
රළුපරළු හා ශීතාධික බටහිර වෙරළ පසු කරද්දී එහි ඇන්ජිමේ යම් යාන්ත්‍රික  දෝෂයක් ඇති වූයේ කිසිවෙකුත් බලා‍පොරොත්තු  නූවූ විලසිනි. ගල්පර සහිත වෙරළ තීරයේ ගැටීමේ අවදානමත් සමග ‍පොරබදමින් සිටි ඔවුන් ඉතා ඉක්මනින් හදිසි අනතුරු දැනුම් දීමේ ඇමතුමක්   නිකුත් කළේ සෙනසුරාදා හවස් වරුවේය.
යම් කිසි අබග්ගයක් සිදුවෙමින් පවතින බව එහි ගමන් කළ දහසකට අධික මගීන් අනුමාන කළේ ඔවුන් හදිසියේම රැස්වීම් ශාලාවකට කැඳවීමත් සමගය. ඒ හැන්දෑව ගැන හෝර්ගන් යළි මතකය අවදිකරන්නේ සැලෙන හදින් යුතුවය.
“ජනෙල් වලිනුත් දොරවල් වලිනුත් අඩි හයකට වැඩිය උස ජලකඳක් කඩාගෙන ඇතුළු වුණා. එතන තිබුණූ මේස, පුටු විතරක් ‍නෙවෙයි හිටිය මිනිසුන් පවා අඩි විස්සක් තිහක් මේ වතුර පාරත් එක්ක ගහගෙන ගියා. මට දෙවියන් සිහි වුණා. ළඟම හිටිය මගේ  බිරින්දෑ මං වහාම අල්ලා ගත්තා. ඒත් ජලපහර ඊට වඩා ප්‍රබල වුණා. මගේ ග්‍රහණයෙන් ගිලිහුණු ඇය අඩි විස්සක් විතර එහාට ගසාගෙන ගියා. ඒත් ඒ ගමන්ම වාගේ අනෙක් පසට ගසාගෙන ආ ජල පහරත් එක්ක ඇය යළි මං හිටිය පැත්තට ඇදීගෙන ආවා.”
නෞකාව බියජනක ලෙස දෙපසට පැද්දෙන්නට පටන් ගත් අතර එහි වූ සියලු ගෘහ භාණ්ඩ උපකරණ හා ඒ පැද්දීමත් සමග නැවේ ඇතුළත බිත්තිවල වැදී කුඩුපට්ටම්ව යන්නට පටන් ගත්තේය. මේ අතරවාරයේ බිඳී විසිරුණු වීදුරු කුඩුවලින් ඇතැම් මගීන්ගේ සිරුරු කැපී ‍ලේ ගලන්නට ද පටන්ගෙන තිබුණි. අනෙක් අතට ඒ ජලදහරාවල සැඟවී තිබුණු අධික සීතල ගැන ද අමුතුවෙන් කියන්නට දෙයක් නොතිබිණ. බොහෝමයක් දෙනා සිය ජීවිතය පිළිබඳ බලා‍පොරොත්තුද අතහැර දමා තිබුණි.
වහා ක්‍රියාත්මක වූ    වෙරළාරක්ෂක මුදා ගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර් යානා මගින් නෞකාවේ කොටුවී සිටි මගීන් ඉවතට ගන්නට පටන් ගත්තේ නමුදු එය හිතු තරම් පහසු රාජකාරියක් නුවුණේ රාත්‍රී අන්ධකාරය වැටීමත් සමගය. එරට වෙරළාරක්ෂක නිලධාරියකු පුවත්පතකට  පවසා තිබුණේ වෙරළ තීරයේ පිහිටි ගල්පරවල වැදෙන්නට තවත් මීටර් සියයක පමණ දුරක් පමණක් තිබුණු බවය. කෙසේ වෙතත්  ඩ්භඵබචඤමඪඬච ඕචර වෙත ළඟා වී එහි නැංගරම් ලන්නට නෞකාවේ කාර්ය මණ්ඩලය සමත්ව තිබුණි.
ඇතැම් අවස්ථාවලදී අඩි විස්හයක් පමණ ඉහළට ප්‍රචණ්ඩ රළ ද නැගෙමින් තිබූ බැවින් බෝට්ටුවල ආධාරයෙන් මගීන් ඉවතට ගැනීම සිදු කළ නොහැක්කක් විය. නෝර්වේහි ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය හෙලිකොප්ටර් පහක සේවය ලබා දෙන්නට කටයුතු කළේ මේ මොහොතේය. පළමුව තුවාල ලබා හෝ ආබාධිත තත්ත්වයනට පත්ව සිටි මගීන් ඉවතට ගැනීම සිදු කරන ලද බව පැවැසෙයි.
පළමුව මුදවාගත් පිරිස අසල වූ ර්ධතඤඥ නගරය වෙත ගෙන යන ලද අතර ඒ කණ්ඩායමට අයත් වූ ජැනට් ජේකොබ් ව්අම් මාධ්‍ය ජාලය වෙත සිය බිහිසුණූ අත්දැකීම පවසා තිබුණේ එය ටොනාඩෝවකට හසුවීමක් හා සමාන කරමි.
“මා ජිවිතයේ කිසි කලෙකත් ඔවැනි ආකාරයෙන් බියට පත් වී නැහැ. ඒ වෙලාවේ සුළඟ හැමුවේ හරියට ටෝනාඩොවක වගෙයි. අපි හැමොම යාතිකා කරන්නට පටන් ගත්තා” මගීන් ගුවනින් ඔසොවා ඉවතට ගැනීමේ මෙහෙයුම මුළු රාත්‍රිය මුළුල්‍ලේම පාහේ සිදුවූ අතර ඉරිදා උදය වන විටද ඒ කාරිය අහවරයක් දැක නොතිබුණි. මේ මෙහෙයුම මෙතරම් පමාවන්නට එක් හේතුවක් වූයේ ඒ සඳහා යොදවා තිබුණු හෙලිකොප්ටර් පහෙන් දෙකක් ඒ ආසන්න ප්‍රදේශයකදී අනතුරට පත් තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක සහයට පිටත් කර හරින්නට සිදුවූ බැවිනි.
මගින් 479 දෙනෙකු මේ ආකාරයෙන් හෙලිකොප්ටර් මගින් මුදා ගත් අතර තවත් මගීන් 436 දෙනකු හා කාර්ය මණ්ඩලයේ  458 දෙනකු තව දුරටත් නෞකාවේ රැඳී සිටිද්දී හෙලිකොප්ටර් මෙහෙයුම නවතා දමන්නට වයිකිං ස්කයි කපිතාන්  තැන තීරණය කළේය. ඔහු සැලසුම් කළේ නෞකාවේ සක්‍රීය එන්ජින්වල උපකාරයෙන් නෞකාව අසල තිබූ Moldeවරාය වෙත සෙමින් සේන්දු වන්නටය. නෞකාවේ එන්ජින් හතරෙන් තුනක් සක්‍රීයව  පැවැති අතර මේ එන්ජින් තුනේ සහ ඇදගෙන යන බෝට්ටුවක් සහ තවත් යාත්‍රා දෙකක ආධාරයෙන් අන්තයේදී වයිකිං ස්කයි  Molde වරාය වෙත සේන්දු වෙන්නට සමත් විය. ඉරිදා හැන්දෑව වන විට ඉතිරි මගීන් හා කාර්ය මණ්ඩලයට  ආරක්ෂිතව Molde නැව් තොටින් ගොඩ බස්වන්නට පිළිවන්වූයේ ඒ හැටි වැඩි ආපදාවකින් තොරවය.
වයිකිං ස්කයි ආරංචි මාර්ග වලට අනුව මේ අනතුරින් විසි දෙනෙකු පමණ තුවාල ලබා තිබුණු අතර ඒ සියලු දෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබුණි.  දහස් ගණනක ජීවිත බේරාගන්නට සමත්වීම  පිළිබඳව එරට වෙරළ
ආරක්ෂක සේවයටත්, අනෙකුත් ආපදා කළමනාකරණ ආයතනවලටත් එහි කපිතාන් තැන ඇතුළු කාර්ය මණ්ඩලයටත් ලොව නන් දෙසින් ඇගයුම් පළ වී තිබේ.
Scroll to Top