Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සිරස Film Star ගේ දුක්බර කතාව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංජය මුරමුදලි කියන්නේ මේ දිනවල විවිධාකාරවූ චරිත හරහා පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන රංගන ශිල්පියෙක්. සිය රංගන කුසලතාවයෙන් රියැලිටි තරුවක් බවට පත්වීම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් කර ගත්තත් ඊට පෙරත් ඔහු නළුකම වෙනුවෙන් කළ කැපකිරීම් බොහොමයි. ඒ ගැන ඔහු කියන කතාවයි මේ.

එදා සිරස film star කිරුළ හිමි කර ගත්තට පස්සේ මා ගැන ලියැවුණූ ඒ ලිපිය තවමත් මගේ සිහිවටන අතර තියෙනවා. අද වෙද්දී එදාට වඩා මගේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් වෙලා. ඇත්තටම ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.

ඔබ අද වෙද්දී ගොඩක් කාර්යබහුල නළුවෙක් නේද?

මේ වෙද්දී මම රඟපාන ටෙලි නාට්‍ය හයක් විකාශය වෙනවා. අමුතු රසිකයා (ජාතික රූපවාහිනිය) ඔබ නිසා (හිරු TV) තෝඩු (ස්වාධීන රූපවාහිනිය) හුස්මක් තරමට (හිරු TV) සුසුමක ඉම (ස්වාධීන රූපවාහිනිය) සහ කුමී (ස්වර්ණවාහිනිය) තමයි ඒ ටෙලි නාට්‍යය. ඒ වගේම මම මේ වෙද්දී කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. අධ්‍යාපනයයි රඟපෑමයි යන දෙකම කරගෙන යන නිසා මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා තමයි ඉන්නේ.

“සිරස film star” කිරුළ දිනාගෙන නළුවෙක් විදිහට ගමනක් ආරම්භ කළාට ඔබ කලාවට යොමුවුණේ ඊට කලින් නේද?

මගේ ගම හඟුරන්කෙත. ඉගෙන ගත්තේ දියතිලක මධ්‍ය මහා විදුහලෙන්. උසස් පෙළ අවසන් වුණ හැටියේ මම ගමෙන් කොළඹට ආවේ නළුවෙක් වීමේ හීනය ඇතිවයි. “සිරස film star” වෙන්න කලින් නළුකම වෙනුවෙන් කැපවීම ගැන මට වෙනමම කතාවක් තමයි කියන්න වෙන්නේ.

කැමතිද ඒ ගැන කියන්න?

නළුවකු වෙන්න තියෙන ආසාවට කාලයක් මම ටෙලි නාට්‍යවල කැමරාවෙන් පිට වැඩ කළා. සහය අධ්‍යක්ෂණය වේෂ නිරූපණය ආදී විවිධ කටයුතුවලට සහය දුන්නා. ඔය අතරේ පුංචි පුංචි චරිතත් රඟපාන්න ලැබුණා. ඔය කා‍ලේ මම නැවතිලා හිටියේ දන්නා කියන පන්සල්වලයි. බොහොම දුෂ්කරතා මැද තමයි කලා ජීවිතය පටන් ගත්තේ.

කැමරාවක් ඉදිරියේ කළ පළමු රංගනය මතකද?

ඒක රංගනයක් ‍නෙවෙයි නිකම්ම පෙනී සිටීමක්. ටෙලි නාට්‍යය බලද්දී පේන්න තිබුණේ මගේ සපත්තු දෙක විතරයි.

ඉන් පසුවත් ඒ වගේ සුළු චරිත ගොඩක් රඟපෑවාද?

ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවක පුංචි පුංචි චරිත රඟපෑවා. හැබැයි ගොඩක් ඒවා දෙබස් තියෙන චරිත ‍නෙවෙයි. නිකම්ම කැමරාවට පෙනී හිටපු චරිතයි.

නළුකම ගැන ඔය තරම් උනන්දුවක් හිතට ආවේ කවදා ඉඳන්ද?

ඒකත් අහම්බෙන් වගේ වෙච්ච දෙයක්. මම පාසල් යන කා‍ලේ හරිම දඩබ්බර ළමයෙක්. මට මතකයි මම පුංචි කා‍ලේ අනික් ළමයින්ගේ දෙමව්පියෝ මාව පෙන්නලා ඒ ළමයින්ට කියනවා “අරූව ආශ්‍රය කරන්න එපා” කියලා. උසස් පෙළ නාට්‍ය හා රංග කලාව තෝරා ගත්තත් මම උගන්නන වෙලාවට පන්තියේවත් නැහැ. හැමදේම වෙනස් කළේ එක් පුද්ගලයෙක්. ඔහු මගේ පාස‍ලේ උගන්නපු කිත්සිරි සර්.

කොහොමද ඔහු ඔබව වෙනස් කළේ.

සර් කොහොමහරි මගේ දක්ෂතා වටහාගෙන තිබුණා. දවසක් ඔහු මට කතාකරලා රඟපාන්න කොටසක් දීලා රඟපාන්න කිව්වා. මම ඒ දේ කළේ ගුරුවරයාගේ කීමට අවනත වෙන්න ඕනෑ නිසයි. හැබැයි ඒ දිහා බලාගෙන හිටපු සර් කිව්වා. “බොහොම හොඳ රංගන හැකියාවක් තියෙනවා. ඒක දියුණු කරගන්න” කියලා. ඒ වචන ටික මට තදින්ම දැනුනා. නාට්‍ය හා රංග කලාව විෂය ගැන උනන්දුව වැඩි වෙන්න විශ්වවිද්‍යාලයට ඒ ගැන හදාරන්න ශක්තිය ලැබුණේ ඒ දිරිගැන්වීම නිසයි.

මේ ගමනෙදී ඔබට ආදරවන්තියොත් හමුවෙන්න ඇතිනේද?

ඉස්කෝ‍ලේ යන කා‍ලේ මගේ දඩබ්බරකම හින්දා ගෑනු ළමයි මට කැමති වුණේම නැහැ. හැබැයි පුංචි පුංචි ප්‍රේම සම්බන්ධතා තිබිලා තියෙනවා. ඒත් මේ දවස්වල මම ප්‍රේමය පැත්තකට තියලා රඟපෑම ගැන විතරයි හිතන්නේ.

 

රිද්ම පළවු ලිපියකි.

ආරියංවංශ කුලතිලක

Scroll to Top