සිනමා, ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක මෙන්ම ගුවන් විදුලි හඬ කැවීම් ශිල්පිනියක ලෙසද දශක ගණනාවක් පුරා සිය ප්‍රතිභාව ප්‍රකට කළ ප්‍රවීණ කලා ශීල්පිනී චිත්‍රා වාකිෂ්ට පසුගියදා මෙලොවින් සමුගත්තා. කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ඇය, මියයන විට 83 වැනි වියෙහි පසුවුණා.
කුඩා වියේදීම ළමා ගායිකාවක ලෙස ගුවන් විදුලියේ ළමා පිටියට සම්බන්ධ වූ චිත්‍රා සිය රංගන හැකියාව මුලින්ම පෙන්නුම් කළේ වේදිකාවෙන්. ඉන් අනතුරුව, 1955 වසරේදී සිරිසේන විමලවීරගේ “පොඩි පුතා” චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඇය “තුෂාරා”, “පරසතුමල්”, “කොටි වලිගය”, “යුගාන්තය”, “‘ගැහැනු ළමයි”, “ගොළු හදවත” ඇතුළු සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක වුණා.
මෙරට පළමු ප්‍රාසාංගික ටෙලි නාට්‍යය වූ “දිමුතු මුතු” ඇතුළු ටෙලි නාට්‍ය රැසකටද රංගනයෙන් දායක වූ ඇය. අවසාන කාලයේ වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ “කෝපි කඩේ” ටෙලි නාට්‍යයේ “සොමිනෝනා” ලෙසයි. ජනතාවගේ ආදරය දිනාගත් කලාකාරිනියක ලෙස මෙන්ම, ආදරණීය මවක ලෙසද චිත්‍රා වාකිෂ්ට ගෙවූ දිවිය පිළිබඳ මෙලෙස සිහිපත් කරන්නේ ඇගේ පුත් ප්‍රවීණ නිවේදක ප්‍රාන් වාකිෂ්ඨයි.
පුතෙක් විදිහට ඔබ ඇයව දකින්නේ කොහොමද?
චිත්‍රා වාකිෂ්ඨ කියන කලකාරිනිය අමතක කරලා, මගේ අම්මා කියන හැඟීමෙන් ඇය දිහා බලද්දී, මම ඇයව දකින්නේ යෝධ කාන්තාවක් විදිහටයි. ඇය බොහොම ප්‍රියජනක, කරුණාවන්ත සහ පරාර්ථකාමී කාන්තාවක්. මගේ තාත්තා වන ලොයිඩ් වාකිෂ්ටත් දක්ෂ කලාකරුවෙක්. 1981 අවුරුද්දේ මෙලොවින් සමුගත්තා. ඊට පස්සේ අම්මාට තමන්ගේ පුතුන් හතර දෙනා සහ දුව වෙනුවෙන් හුඟක් වෙහෙස මහන්සි වෙන්න සිදු වුණා. හැබැයි ඒ ගමනේදි ආපු හැම අභියෝගයකටම ඇය සාර්ථකව මුහුණ දුන්නා.
ඒ කාලේ කලාව හැරුණාම ඇයට වෙනත් ආදායම් මාර්ගයක් තිබුණද?
නැහැ. ඒ කාලේ විතරක් නොවෙයි ඇය කවදාවත් වෙනත් රැකියාවක් කරපු කෙනෙක් නෙවෙයි. වයස අටේදී ගුවන් විදුලි ශිල්පිනියක් විදිහට කලාවට පය තැබූදා පටන්, මීට අවුරුදු දෙකකට විතර කලින් ඔත්පළ තත්ත්වයට පත්වූ අවස්ථාව වනතුරුම ඇය කවදාවත් කලාවෙන් ඈත්වුණේ නැහැ.
ඉස්සර අද වගේ කලාව බිස්නස් එකක් බවට පත්වෙලා තිබුණේ නැහැ. ඒ නිසා කලා කටයුතුවලට සම්බන්ධ වුණත් අම්මලාට ඒ කාලේ ඒ තරම් ලොකු මුදලක් ලැබුණේ නැහැ. හැබැයි ඒ සුළු මුදලින් අම්මා කොහොම හරි තමන්ගේ දරු පවුලේ වැඩ කටයුතු කළමනාකරණය කර ගත්තා.
දක්ෂ චරිතාංග නිළියක් විදිහට ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර මොනවගේද?
අද නව පරපුරේ හුඟක් නළු නිළියෝ විවිධාකාරයේ චරිත රඟපෑවත් අපට ඒවායේ බොහොම ඒකාකාරී බවක් තමයි දකින්නට ලැබෙන්නේ. හැබැයි වේදිකාවේ, සිනමාවේ සහ ටෙලි නාට්‍යවල දක්ෂතා පෙන්වූ ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට. තමන්ට යම් චරිතයක් ලැබුණාම අම්මා දැනගෙන හිටියා ඒක හරියටම රඟපාන්නේ කොහොමද කියලා. ඒ නිසා අම්මා චරිත දහයක් රඟපෑවොත් ඒවා දස ආකාරයක්.
හරියටම චරිතයේ ස්වභාවය හඳුනාගෙන තමයි ඇය රඟපෑවේ. ඒ නිසා ප්‍රේක්ෂකයෝ ඇයට ආදරය කළා වගේම සමහරු වෙනස්ම විදිහේ ප්‍රතිචාර දක්වපු අවස්ථාත් තිබුණා. මම එක උදාහරණයක් කියන්නම්. “හිමගිරි අරණ” කියන ටෙලි නාට්‍යයේ අම්මා රඟපෑවේ නැන්දම්මා කෙනකුගේ චරිතයක්.
මේ නැන්දම්මා තමන්ගේ ලේලිට වසදීලා මරනවා. අම්මා කොච්චර තාත්වික විදිහට ඒක රඟපෑවාද කියනවා නම් ඊට පස්සේ අම්මාට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වුණා. මොකද මිනිස්සු හිතුවේ අම්මා ඇත්තටම ඒවගේ කෙනෙක් කියලයි.
පසුකාලීනව ඇයව වැඩිපුර මතකයේ රැඳුණේ “කෝපි කඩේ” ටෙලි නාට්‍යයේ සොමිනෝනාගේ චරිතයෙන් නේද?
ඔව්. අම්මා “කෝපි කඩේ” ආරම්භක සාමාජිකාවක්. මීට අවුරුදු දෙකකට කලින් ඔත්පළ වෙනතුරුම ඇය එහි රඟපෑවා. ඇය ඒක කළේ බොහොම ආසාවෙන්. ඒ වගේම මොන අපහසුතා ආවත් එහි රඟපාද්දී අම්මා කවදාවත් ප්‍රශ්න ඇතිකර ගත්තේ නැහැ.
අම්මා ජීවිතයේ අවසන් කාලය ගත කළේ මොන විදිහටද?
අම්මා මුලින්ම අසනීප වුණේ මීට අවුරුදු හයකට විතර කලින්. ඇයට තිබුණේ පිළිකාවක්. මගේ මද්දුම අයියා ශම්මි තමයි රැකියාවටවත් නොගිහින් අම්මාව බලාකියා ගත්තේ. හැබැයි අම්ම තමන්ගේ රෝගය වෙනුවෙන් හරියට බේත්හේත් ගත්තේ නැහැ. ඇයට ඕනෑවුණේ තමන් ඉස්සර ගත කරපු විදිහටම ජීවිතය ගත කරන්නයි. ඔහොම කල්ගත වෙද්දි අම්මාට ඇවිදින්න අමාරු වුණා.
කල්පනාවත් ටිකෙන් ටික අඩු වුණා. පස්සේ ඇයට අපිවත් හරියට අඳුනගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. මිය යන්න දවසකට කලින් තමයි රෝගය වඩාත් උත්සන්න වුණේ.
ප්‍රවීණ කලාකාරියක් විදිහට ලැබිය යුතුව තිබූ නිසි ගෞරවය අවසන් කාලයේ ඇයට ලැබුණා කියලා කියන්න පුළුවන්ද?
අම්මා අසනීප වෙලා කියලා දැන ගත්තාම රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා වගේ ප්‍රවීණ කලාකරුවන් පවා අම්මාගේ සුවදුක් විමසන්න ආවා. ඒත් අම්මා බලාපොරොත්තුවෙන් හිටියා ඊට වඩා පිරිසක් ඇයව බලන්න ඒවි කියලා. මොකද අම්මා හුඟක් අයට අත දීපු කලාකාරිනියක්.
කලා නිර්මාණවල තමන්ගේ පුතා විදිහට රඟපාමින් ඉදිරියට ආපු අය පසුකාලිනව තමන්ගේ චිත්‍රපට, ටෙලි නාට්‍ය ආදිය නිර්මාණය කරද්දී ඇය ඒවායේ රඟපාන්න සත පහක්වත් අය කළේ නැහැ. අම්මා පස්සේ තේරුම් ගත්තා වෙනත් කලාකරුවන්ටත් ඇය වෙනුවෙන්ම කාලය වෙන් කරන්න අපහසු බව.
ඇගේ අවමඟුල් උත්සවය ප්‍රවීණ කලාකරුවන් සහ කලාකාරිනියන්, මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් වුණා. නමුත් මට එක කනගාටුවක් තියෙනවා. ඇය වගේ ප්‍රවිණ කලා කාරිනියක් වෙනුවෙන් අවසාන ගෞරවය පුද කරන්න නව පරපුරේ කිසිම කලාකරුවෙක් හෝ කලාකාරිනියක් ආවේ නැහැ.
උපුටාගැනීමකි
කිෂාන් කනංකෙ – ලක්බිම පුවත්පත